අසාර්ථක පාලනයෙන් විනාශවන බලපිටියේ සමුපකාර සමිතිය

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගොඩනැගිලි, වාහන සහ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් කාලයක සිට විවිධ ස්ථානන්හි නිකරුණේ විනාශ වෙමින් පවතින අතර සමූපකාර සමිතියද පරිහානිය කරා යන තත්ත්වයකට පත් වී තිබෙන බව සමූපකාර සේවකයෝ ප්‍රකාශ කරති.

1972 දී සමගි පෙරමුණු රජය වසින් ආරම්භ කරන ලද සමූපකාර සමිතිය සතුව ප්‍රාදේශික අලෙවි සල් විසිහතරක්, මුද්‍රණාලයක්, බේකරිය සහිත ආපන ශාලාවක්, ඉන්ධන හලක්, ඇඹරුම් හලක්, රෙදි අලෙවි සල් දෙකක් ආදි විවිධ සේවාවන් වලින් සමන්විතව තිබිණි.

මේ වන විට සමිතිය සතුව ප්‍රාදේශික පහකට  වඩා නොමැති අතර සිල්ලර වෙළෙඳාම සම්පූර්ණයෙන්ම ඇණ හිටින තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී අංක අට ගල්වෙහෙර ප්‍රාදේශිකය වැසී ගියේය. කුලී පදනමක් මත පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල හිමිකරුවන් විසින් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බැවින් ප්‍රාදේශිකය වැසී යාමට හේතුවිය. එම ප්‍රාදේශිකයේ කාරක සභාව විසින් නව ගොඩනැගිල්ලක් සොයා දී ප්‍රාදේශිකය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියත් සාමාන්‍යාධිකාරීණී ඩී පුෂ්පාණි ද සොයිසා මහත්මිය ප්‍රකාශ කළේ ප්‍රාදේශික වලින් පාඩු ලබන නිසා ඒවා නැවත ආරම්භ නොකරන බවය.

ප්‍රාදේශික වල සේවය කරන සේවිකාවන් උදේ 9.30 ට 10.00 ට පමණ ප්‍රාදේශික විවෘත කොට සවස 4.00 වීමටත් පෙර වසා දමන බැවින් හරි හැටි වෙළෙඳාමක් නැති බව සමූපකාර සමිතියේ සභාපති ඩබ්ලිව් කුසුම්සිරි ද සිල්වා මහතාගෙන් විමසූවිට ප්‍රකාශ කර සිටියේය. සභාපතිවරයෙක්, අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග කාර්යය මණ්ඩලයක් පත්කර තිබෙන්නේ සේවකයින්ට අවශ්‍ය පරිදි ප්‍රාදේශික වසන්නට හෝ විවෘත කරන්නට නොව නිසි පරිපාලනයක් පවත්වාගෙන ගොස් සමූපකාරය දියුණු කර මහ ජනතාවට සේවාවක් සලසන්නට බව සමූපකාර සේවකයෝ ප්‍රකාශ කරති. එම නිසා සභාපතිවරයා ප්‍රකාශ කරන පරිදි සේවකයින්ට අවශ්‍ය පරිදි ප්‍රාදේශික විවෘත කර තිබීම මත ප්‍රාදේශික වැසී යනවා කියන කතාව පිළිගත නොහැකි බවත් එය ප්‍රශ්ණයෙන් ලිස්සා යෑමට ලබාදුන් සරල උත්තරයක් බවත් සේවකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල ඇතුඵ දැනට පවත්වා ගෙන යන ප්‍රාදේශික වලින් කිහිපයක්ම කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිලි වල පවත්වා ගෙන යන අතර සමිතිය සතු ගොඩනැගිල්ලක් වන වැල්ලබඩ ප්‍රාදේශිකය කාලයක සිට වසා දමා තිබේ. එම ගොඩනැගිල්ල ද මේ වන විට විනාශ වෙමින් පවතින අතර එම ප්‍රාදේශිකය විවෘත කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. එය සිහි මද අයකුගේ නිවහන බවට පත්වී ඇති අයුරුද දැක ගත හැකිය.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියට මහත් කීර්තියක් මෙන්ම විශාල ආදායමක් ගෙන දුන් බළපිටිය වැලිතර ‘කෝප් රෙස්ට්’ ආපන ශාලාව සහ බේකරිය වසා දමා වසර කිහිපයක් ගතවී තිබේ. එම් එච් අහමඩ් සෙයිලානි මහතා සභාපති වශයෙන් සිටිය දී සමූපකාර, පළාත් සභා, පළාත් පාලන සහ දේශීය වෛද්‍ය ඇමැති අමරසිරි දොඩන්ගොඩ මහතා විසින් 1995 පෙබරවාරි මස 27 දින මුල් ගල් තබා රුපියල් ලක්ෂ දාහතරක පමණ මුදලක් වැය කොට ගොඩනැගිල්ලක් ඉදිකොට නවීන පන්නයේ උපකරණ යොදා ආරම්භ කරන ලද මෙම ආපන ශාලාව රට පුරා ඉතා ප්‍රසිද්ධව තිබිණි. එකල ගාලුපාරේ ගමන්ගත් බොහෝ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් දිනපතාව මෙම ආපන ශාලාවට ගොඩවැදී තේ කහට එකක් පානය කර යෑමේ පුරුද්දක් තිබුණි.

සුනාමි ව්‍යසනයේ දී මෙම ආපන ශාලාවේ උපකරණ වලට දැඩි සේ හානි සිදුවිය. එවිට සුනාමි ආධාර යටතේ රුපියල් ලක්ෂ විසි තුනක් වැය කරමින් බේකරිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකොට උපකරණ සියල්ල නවීකරණය කොට වෘත්තීය හා කාර්මික පුහුණු ඇමැති පියසේන ගමගේ මහතා 2009 ජූනි මස 25 දින විවෘත කළ ද, එයද මේ වන විට වසා දමා තිබේ. ආපන ශාලාවේ ගොඩනැගිල්ල හොඳ තත්ත්වයේ පවතින අතර බේකරිය සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල කඩා වැටෙන තත්ත්වයට පත් වී තිබේ. සුනාමියෙන් පසු ඉදිකරන ලද මෙහි වහලේ කොටසක් හා සිවිලිම කඩා වැටී තිබෙන අතර දොර ජනෙල් ආදියද කඩා වැටී තිබේ. එමෙන්ම කොන්ක්‍රීට් තට්ටුවක්ද කඩා වැටී යකඩ මතු වී තිබේ.

2018.09.09 දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී සමූපකාර ආපනශාලාව හා බේකරිය පිහිටි භූමියේ උත්සව ශාලාව හා නවාතැන් පහසුකම් වලින් සමන්විත ගොනැගිල්ලක් ඉදිකිරීමේ සැලැස්ම සහ ඇස්තමේන්තුව අනුමත කිරීම හා සැලසුම් ඇස්තමේන්තු ගාස්තු ගෙවීම සඳහා යෝජනා සම්මත වුණත් මේ වන තුරු ආපන ශාලාව ආරම්භ නොකළ අතර යෝජිත උත්සව ශාලාව ඉදිකරන බවක් හෝ පෙනෙන්නට නැත.

මෙම භූමියේ ලොරි රථයක් අවුරුදු ගණනාවක් තිස්සේ සිට නිකරුණේ කැලෑවට යටවෙමින් දිරා පත්වෙන අයුරු ද දැකගත හැකිය.  මෙම ලොරි රථය විකිණීම සඳහා මහා සභාවේ සහ කොමසාරිස්තුමාගේ අනුමැතිය ලැබී ඇතත් වාහනයේ පොත මහජන බැංකුවේ සුරැකුම් ලෙස තබා ඇති බැවින් එම ලොරි රථය මිලියන දෙකකට යටත්ව අලුත්වැඩියා කිරීම සඳහා 2019.08.25 වැනි දින මහා සභා රැස්වීමේදී අනුමැතිය ලබා ගත්තද තවමත් ලොරි රථය දිරා පත්වෙමින් පවතී. ඉන්ධන පිරවුම් පොළෙන් ඉවත් කරන ලද පරණ තෙල් වැංකි දෙකක්ද විනාශ වෙමින් තිබේ. ඒවා යකඩ වලට හෝ විකුණා සමිතියට ආදායමක් ලබාගත හැකි බව සේවකයෝ කියති.

කොස්ගොඩ පැලෑගස්පළාත ග්‍රාමීය බැංකුව පිහිටි ගොඩනැගිල්ලද සමිතිය සතු සම්පතකි. එම ගොඩනැගිල්ල දැඩිසේ අබලන්වීම නිසා වෙනත් ස්ථානයක පවත්වා ගෙන යෑමට සිදු වී තිබේ. එම ගොඩනැගිල්ලද නවීකරණයට 2017.10.28 දින පැවති මහා සභාවේදී අනුමැතිය ලබා ගත්තද එයද මෙතෙක් නවීකරණයක්නම් කර නැත. මෙම ඉඩම නිසි ලෙස මැණුම් කොට රැකගැනීමට පියවර ගන්නා ලෙස මහා සභා රැස්වීම් දෙකකදී ම මහා සභා නියෝජිත යසස් පී මැන්දිස් මහතා යෝජනා කර සිටියද එයද මේ වනතුරු ක්‍රියාත්මක වී නැත.

සමූපකාර සමිතිය සතුව රෙදි අලෙවි සල් තිබුණද ඒවා මේ වන විට වසා දමා වසර විස්සක් තිහක් පමණ වේ. මුද්‍රණාලයක් හා ඇඹරුම් හලක් පවත්වා ගෙන ගියද ඒවා ද වසා දමා කාලයක් ගත වී තිබේ. මුද්‍රණාලයේ යන්ත්‍ර අකුරු අමුණන ඉතා පැරණි ඒවා බවත් එය ක්‍රියාත්මක කිරීමට අයකු නැති බවත්, එයට අවශ්‍ය අකුරු සොයා ගැනීමට නැති බවත්, ඇඹරුම් යන්ත්‍ර සියල්ලද ඉතා පැරණි ඒවා බැවින් පාවිච්චි කළ නොහැකි තත්ත්වයේ පසුවන බවත් සාමාන්‍යාධිකාරිණී ඩී පුෂ්පාණි ද සොයිසා මහත්මිය පවසා සිටියාය.

පාඵවට යමින් තිබූ බළපිටිය බස් නැවතුම් පොළ බදු පදනමක් මත ලබා ගෙන අලෙවි සලක් සහ තවත් වෙළෙඳ සල් පවත්වා යාමටද ඉඩ ලබා දීමෙන් සමිතියට ආදායමක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මාදු ගඟ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ. දූපත් ආශ්‍රිත සංචාරක නිකේතනය සේවක හා සාමාජික අරමුදල් යොදා මිලදී ගෙන තිබෙන අතර එම ව්‍යාපෘතියද අසාර්ථක වුවහොත් ඒ සඳහා වැය කළ තම අරමුදල් වලට සිදුවෙන යහපත කුමක්දැයි සේවක පිරිස හා සාමාජිකයෝ බියෙන් පසුවෙති.

එමෙන්ම සමිතියේ බොහෝ ව්‍යාපෘති වලට පිට ණය ලබා ගෙන තිබෙන අතර ඒ සඳහා ඇප වශයෙන් සමිතිය සතු වත්කම් සියල්ල ඇපයට තබා තිබෙන බවත්, ඒවාට ද ලොරි රථයට වූ දේ සිදුවේදැ යි සේවකයෝ බියක් දක්වති. සමිතියෙන් දෙන ලද බොහෝ ණය වලින් වැඩි ප්‍රමාණයක් අය වී නැති බවද කියති. මාඵ අලෙවි හලක් ආරම්භ කළද එයද පවත්වා ගෙන ගියේ දින කිහිපයක් පමණි.

මේ පිළිබඳව සමූපකාර සමිතියේ සභාපති ඩබ්ලිව් කුසුම්සිරි ද සිල්වා මහතා ගෙන් විමසූ විට මෙසේ කීය. ආපන ශාලාව තිබෙන භූමියේ උත්සව ශාලාව සහිත ගොඩනැගිල්ලක් ඉදකිරීමට හා පැලෑගස්පළාත ග්‍රමීය බැංකු අලුත් වැඩියා කිරීමට සමූපකාර කොමසාරිස්තුමාගෙන් අනුමැතිය ලබාගැනීමට ලියකියවිලි ඉදිරිපත් කර ඇතත් තවමත් අනුමැතිය නොලැබුණු නිසා ක්‍රියාත්මක කරන්න බැරි වුණා.

හාල් සිල්ලර ටිකක් විකුණල දැන් සමූපකාරයක් පවත්වා ගෙන යන්න බැහැ. අලුත් ව්‍යාපෘති වලට යායුතුයි. මගේ දක්ෂතාවය නිසයි මේ තරමටවත් ණය අරගෙන පවත්වා ගෙන යන්නේ. සභාපතිකම ගන්න බලාගෙන ඉන්න අයට මම අභියෝග කරනවා අරගෙන කරගෙන යන්න කියල. මගේ උත්සහය මේක වට්ටන්නේ නැතුව  රැක ගැනීමටයි. මම රජයේ සේවකයෙක්. ඒ නිසා රැකියාවක් බේර ගෙන ආත්ම ගරුත්වයත් බේර ගෙන රජයේ නීති රීති වලට යටත්ව කරගෙන යන්නයි බලන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *