“එළවලු කඩ හිමියනට රෑට කඩ මුරකරන්න වෙලා ගොවියන්ට අස්වැන්න මුරකරන්න වෙලා”

අඩුවෙන විට අඩුකරන්නත් වැඩිවන විට වැඩි කරන්නත් ආණ්ඩු මොකටද

වසර 71 ක් මෙරට පාලනය කල මේ ක්‍රමය තුල රටේ ජනතාවට මහපොළවේ වැවෙන එළවලු ටික හරියට දෙන්න බැරි තත්වයට පත්වෙලා තවත් මෙම අසාර්ථක ක්‍රමයට ජනතාව කැමැත්ත දෙනවා කියන්නේ මේ ක්‍රමය අනුමත කරන බවයි බදු මිළ වැඩිවෙන කොට වැඩි කරන්නත් අඩුවෙනකොට අඩු කරන්නත් ආණ්ඩු මොකටද මේක කරන්න මහා ආර්ථික දැනුමක් මොකටද කීව කථා සුරංගනා කථා විතරයි මහපොළවේ කරන්න බැරිබව අද මේ පාලනයෙන් ඔප්පු වෙලා ඉවරයි

එළවළු මිල ඉහළ ගොස් තිබෙන ප්‍රමාණය අනුව ගොවියන්ට තමන්ගේ එළවළු කොරටු රැකගැනීම සඳහා කඩු පොලු තියාගෙන රකින්න වී ඇති බවත් එළවළු වෙළඳසැල් හිමියන්ට එම කඩ මුර කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව සපයන බවට පවසමින් බලයට පැමිණි ආණ්ඩුවට එළවළු කඩයකටවත් ආරක්ෂාව දීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවය.

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසූවේ ඊයේ (18) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් ඔහු පැවසූවේ රජය සතුව අඩුම තරමේ එළවළු කිලෝ පහක් කල් තබාගැනීමට හැකි ගබඩා පහසුකම් සහිත සීතාගාරයක් නොමැති බවය. පසුගිය මාස කිහිපයකට පෙර එළවළු විකුණාගැනීමට නොහැකිව දන්සැල් දෙන තත්වයක් උදාවූ බවත් මේ වනවිට එළවළු ගිණි ගණන් ගියත් ඉදිරියේ තවත් මාස කිහිපයක් යන විට එළවළු විකුණාගැනීමට නොහැකිව යළිත් කොරටු අතහරින තත්වයට, එළවළු දන්සැල් දෙන තත්වයට පත්වන බවය. මෙය විකෘතියක් බවත් අපේ රටේ එළවළු සහ පළතුරුවලින් 40%ක් විනාශවන බවත් නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය.

වගාවන් පිළිබඳව කිසිම නියාමනයක්, මගපෙන්වීමන් නැති බවත් ගොවියා තමන්ට හිතෙන ආකාරයට වගා කරන බවත් පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවන ආකාරයට මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා එළවළු සහ පළතුරු කල් තබාගැනීම, අතුරු නිෂ්පාදන ආදිය සිදු කළ යුතු බවය.

එම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී සරත් මහතා, සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා සහ එහි කමිටු සාමාජික සුනිල් රණවීර මහතා එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *