විස්සයි විස්සේ ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට කැපද?? අකැපද??

මාර පරාජයේ අදුරු සෙවනැළි මතින් ජයග්‍රහණය කරා යාමට නම්

යමෙකු අසරණ වූ මොහොතක දෙවියන් පසුපස ගොස් සරණක් සොයන ලාංකීය සමාජය මෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වෙතද එවන් බලි තොයිලයක අවශ්‍යතාවය තදින්ම දැනී ඇත මෙම බලි තොයිලයෙන් ක්‍රිකට් වලට අරක් ගත් ප්‍රේතයන් කුන් භාණ්ඩයන් බහිරවයන් එළවිය හැකිය දැන් යන යකා කොරහත් බිදගෙන යාවි යයි පැරණි කියමන සිහියට ගත යුතුය කමක් නැත ලෙඩා මලත් බඩ සුද්දයි කීමට හැකිද දැනට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතය තුලින් ගොඩ ගැනීමට නම් සියලු අභියෝග භාරගත යුතුමය මේ ලංකාවේ ක්‍රිකට් වසන්තය ගෙන ඒමේ අවසන් උත්සාහය විය හැක එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අභියස සිට කරන අභියෝගය සුළුපටු නොවෙති

ලංකාවේ ක්‍රිකට් අවසන් නැත හැබැයි අවසන් වන්නට ද දෙයක් නැත දක්ෂතාවය කෙසේ වෙතත් පරාජය කොලයේ ලියාගෙන තරගයට ඉදිරිපත්වූ සේයාවක් ඇත දැන්වත් නරි මෝඩ කම් නොකර වහාම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී මීලග විස්සයි විස්ස ලෝක කුසලානයේ බලාපොරොත්තුව තබාගන්නට වග බලාගත යුතු නොවේද එදා පකිස්ථානයේදී දසුන්ගේ නායකත්වයෙන් ප්‍රබල පකිස්තානු කණ්ඩායම් දණ ගැස්සු හැටි කදිමය ඒ නවක කණ්ඩායමේ දක්ෂතා ලෝකයේ විචාරකයන්ගේ දැඩි කථා බහට ලක්වන ලදී මෙරට තේරීම් කමිටුව හෝ බලධාරීන් කණ්ඩායමේ සංයුතිය ගැන අබමල් තුඩක තැකීමක් නොමැති බඩ වඩා ගැනීමට පමණක් කටයුතු කරන පිංගුත්තර රැළක් බව කිව යුතුය

නිසකවම් 2020 විස්සයි විස්සේ ලෝක කුසලාන කණ්ඩායමේ සියලු වගකීම් මහේල ජයවර්ධන වෙත පැවරීමට අපට රටක් හැටියට හැකිනම් මේ ජයග්‍රහණය අපහසුවක් නොවනු ඇත කිසිම් ඇගිලි ගැසීමක් නොකර මහේල ට අවශ්‍ය සහය දීමට මෙරට බලධාරීන්ට හැකිනම් ක්‍රීඩකයින් තේරීම ඇතුළු සියල්ල මහේලට අවශ්‍ය විදියට කිරීමට බලය දීම තුල තවත් ලෝක කුසලානයක පහස විදීමට කාලය බව කිව යුතුමය

අසේල ගුණරතන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි කදිම විස්සයි විස්ස තරග සදහා හොදම ආයෝජනයක් වන ලදී අද අසේල ගුණරත්න කෙනෙක් සිටිනවාද කියා කවරෙකුවත් කථා නොකරති ඒ අසේල ගුණරත්න කොළඹ පන්තියේ නැති නිසාය ප්‍රධාන ක්‍රීඩා සමාජ නියෝජනයක් නොමැති නිසාය සාමාන්‍ය යුධ හමුදාවේ සෙබලෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට මොනයම් හෝ වාසනාවකට අසේල කණ්ඩායමට එක්වන ලදී

එහෙත් ලෝකයේ කණ්ඩායම් සලිත කල ඒ සුවිශේෂී ක්‍රීඩකය අමතක කලේ කවුද ??? විස්සයි විස්ස තරග ඇතුළු දියහැකි අවස්ථා සියල්ල ලබාදුන් මැතිව්ස් ,ධන්ජය ,කුසල් මෙන්ඩිස්,දික්වැල්ල,තිසර ඇතුළු ක්‍රීඩකයන්ට දුන් අවස්ථාව අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයන්ට නොලම්බීම අර කියන පන්තියේ නොවන නිසාද අසේල් ගුණරත්න අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි ඕනෑම තත්වයක් යටතේ පිත්ත හසුරන ක්‍රීඩකයෙකි ඕනෑම මොහොතක හයේ පහරක් හතරේ පහරක් එල්ල කල හැකි පිති කරුවෙකි ඔහු කණ්ඩායමේ සිටිය යුතු නොවේද

මෙරට විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර පිතිකරුවෙකු ක්‍රීඩා කල විශිෂ්ඨතම ඉනිම මීට වසර තුනකට ඉහත ඔස්ට්‍රේලියාවට එරෙහිව අසේල ගුණරත්න විසින් ක්‍රීඩා කල ආකාරය සිහියට ගත යුතුමය එදා අපේ කණ්ඩායමට සිතා ගැනීමටවත් නොහැකි ජයග්‍රහණයක් අත්කර දීමට අසේල ගුණරත්න සමත් වන ලදී එදා ඔහු ලබාගත් ලකුණු 81 එතරම් විශිෂ්ඨ ඉනිමක් බව ක්‍රීඩා විචාරකයන් හදුන්වන ලදී වරක පරාජයේ එළිපත්තේ සිටි මොහොතේ මෙරට ක්‍රීඩා විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් විචාරක අට්ටාලයේ නිහඩව පරාජය විදිමින් සිටි මොහොතක් විය අවසානයේ අසේලගේ ඉනිම ක්‍රියාත්මක වෙද්දී රසල් නින්දෙන් අවධිවූ අයෙකු මෙන් විස්තර විචාරය ගෙනෙන ලදී

අසේල ගුණරත්න ගැන මෙරට මහා ලොකු ක්‍රිකට් විචාරකයන් කථා නොකරන්නේ ඔවුන් කථාකරන පන්තියට අසේල නොගැලපෙන නිසාද ??? භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයන්ට තවදුරටත් අවස්ථාව දිවයුතු නොවේද ??? තරග අවසානයේ ජය පැරදුම කුමක් වුවත් විස්කි වීදුරුව අතේ තබාගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන විචාරකයිනි නුඹලා අපේ ක්‍රිකට් වලපල්ලට ගෙන යන අවමංගල අධ්‍යක්ෂ වරුන්ද ???

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නොනවතින පසු බෑමේ රහස සොයා යන ගවේෂණාත්මක විග්‍රහයට හොදම අවස්ථාව අද දින ඉන්දීය ශ්‍රී ලංකා පන්දුවාර 20 තරගයෙන් අනතුරුව සටහන් කිරීමට කැමැත්තෙමු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කණ කොකා හැඩුවේ මීට වසර පහකට පෙරය ඒ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමත් සමගය එම සමුගැනීමේ අවස්ථාව ගැන හෝ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම ගැන කතිකාව පසෙකට තබා පරාජයන් ගොන්න වෙත ශ්‍රී ලංකා කණ්ඩායම් රැගෙන යාම සම්බන්ධයෙන් විමසිය යුතුය

මේ සියලු පරාජයන්ට හේතුව අන් කිසිවක් නොව තම පන්තිය , ක්‍රීඩා සමාජය ,සහ පාසල පෙරට දමා ක්‍රිකට් ක්‍රීඩාව කිරීම බව අප කියන්නේ හේතු කරනා ඇතුවය අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ඉහල සමජයේ උරුමයක් බවට පත්ව තිබුණි තම පන්තියේ ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්කරගෙන තිබුණි. එතුළින් මුල් වකවානුවේ අපේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට සමාජයේ කතිකාව ඇතිවන ලදී ඒ මහත්වරුන් අපේ ක්‍රීඩාවට එදා ලොකු සේවයක් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකීය නාමය පතුරුවමින් රටපුරා ක්‍රිකට් උණක් ඇතිකර අවසානයේ 1996 ලෝක කුසලානය රැගෙන් එන ලදී එදා මහත්වරුන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගුණු යුගය ඉන් වසර 20 කින් පසු පොලවට සමතලා කලේ කවුද ??? අද ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු තැනට වග කිව යුත්තේ කවුද ඒ අන් කවරක් නොව මුදල්ය ඒ මුදලට ගිජුවූ මෙරට ක්‍රිකට් පාලකයන් සහ ක්‍රීඩකයන් නිසා බව කිව යුතුමය ඔවුන් IPL මුදල් වලට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දන්දෙන ලදී

අද තරග පරාජය වීම අරුමයක් හෝ තරගාවලිය පරාජයවීම අරුමයක් නොවන්නේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය දක්වා පහතට වැටී ඇති අපේ කණ්ඩායම් ලෝකයේ අංක එකේ කණ්ඩායම් සමග තරග කර පරාජයවීම අරුමයක් ද හැබැයි එක දුකක් වේදනාවක් ක්‍රීඩා ලෝලීන්ට ඇත ඒ කලාපයේ රටවල් දෙකක් වශයෙන් සහ තරග කාරීත්වයෙන් කරට කර එකට එක සිටි කණ්ඩායම් දෙකක් අහස පොලව තරම් ලංවීමට බැරි පරතරයක් නිර්මාණය කරදීම ගැනය

මුදල් නිසා මෙරට ක්‍රිකට් විනාශ වූයේ කෙසේද හරි සරලය ඉන්දියාව ලෝකයේ සිටින අති දක්ෂ පිතිකරුවන් සහ පන්දු යවන්නන් IPL තරග සදහා ආදේශ කරන ලදී ඔවුන් ලංකාවෙන් ගත්තේ වැඩි පුර පන්දු යවන ක්‍රීඩාකයන්ය ලෝකයේ කිසිම කණ්ඩායමකට කියවිය නොහැකි පන්දු යවන්නා ලසිත් මාලිංගය ඔහු ගැන ඉන්දියාව හොද අවධානයක් ගැනීම සදහා විශාල මුදලක් ලබාදී IPL තරග වලට ආදේශ කරන ලදී එයින් ඔවුන් මාලිංග හැදෑරීම අපූරුවට කරන ලදී ඉන්දියාවේ පිතිකරුවන් සලිත කල මාලිංග අවසානයේ පහසු ඉලක්කයක් බවට පත්කරගන්නා ලදී

එපමණක් නොව ඉන්දියාව කලාපයේ කෙතරම් දක්ෂතා දැක්වුවද දකුණු අප්‍රිකාවේ එංගලන්තයේ නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ තණ තිලි වලදී අසාර්ථක කණ්ඩායමක් විය එහෙත් IPL තරගවලට පින්සිදු වන්නට අද ඉන්දියාව ඉහත සියලු රටවල එළිපත්තටම ගොස් බැටදීමට සමත් කණ්ඩායමක් බව කිව යුතුය එදා මාලිංග හමුවේ පසු බැස සිටි විරාට් කෝලි ඇතුළු ඉන්දීය පිතිකරු බල ඇණිය අද මාලිංග ඇතුළු අපේ පන්දු යවන බල ඇණියට බැට දෙන්නේ එදා කල ගොන්කම් නිසාය වරක් ඉන්දීය පිතිකරුවන් අන්ද මන්ද කල අජන්ත මෙන්ඩිස්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය IPL නිසා ලියා ගන්නා ලදී තිසර පෙරේරා වල් අඩි කරුවෙකු කරන ලදී සනත් මහේල සංගක්කාර සහ ඩිල්ෂාන්ගෙන් පසු ඉන්දියාව මෙරට කිසිම පිතිකරුවෙකු IPL සදහා ගත්තේ නැත දැන් වත් මෙරට ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් සිහි තබා ගතයුතු දෙයක් ඇත ඒ මේ සියලු පරාජයන් මතින් නැවත කණ්ඩායම් ගොඩ එන දිනට පරණ ගොම්කම් නොකළ යුතු බව නොවේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *