වල්ලපට්ට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවූ නාවලකන්ද වනාන්තරය

නාවලකන්ද වනාන්තර පද්ධතිය වල්ලපට්ට ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට නතුවෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් 849 – D ග්‍රාමසේවා වසම තුල පිහිටා ඇති නාවලකන්ද වනාන්තර පද්ධතිය ඉහල ජෛව විවිධත්වයක් සහිත සදාහරිත වැසි වනාන්තර ලක්ෂණ වලින් සමන්විත වූ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තර කිහිපයක එකතුවකි.

පාරිසරික අධ්‍යයනයන් සහ පර්යේෂණයන් කිසිවක් සිදුනොවුනු මෙම වටිනා වනාන්තර පද්ධතිය විවිධාකාර හේතූන් නිසා කලක පටන් විනාශයට පත්වෙමින් පවතී. මෙම වනාන්තර පද්ධතිය සතු ජම්බුගහහේන් කන්ද රක්ෂිත කොටස දැඩි බෑවුම් සහිත උස් කඳු මුදුනක පිහිටි වනාන්තරයක් වන අතර ඉහල ජෛව විවිධත්වයක්ද මෙහි දැකිය හැකිය. මෙම වනාන්තරය මගින් ජම්බුගහහේන් කන්ද ස්ථායිලෙස පවත්වා ගනිමින් නායයාම් ආදියෙන් ආරක්ෂා කරන නිසා කන්ද පාමුල පිහිටි ජනාවාසයන්ට විශේෂ ආරක්ෂාවක්ද ලැබී තිබේ.

ඉහල වටිනාකමක් තිබුනද මේ වන විට එම රක්ෂිත කලාපය දැඩි තර්ජනයට ලක්ව විනාශ වෙමින් පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතියටම වසංගතයක් වූ වල්ලපට්ටා ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මෙම වනාන්තර කොටසද  නතු වී විශාල විනාශයක් සිදුවී තිබේ. වල්ලපට්ටා ලබා ගැනීම සඳහා මේ වන විටත් විශාල ගස් ප්‍රමාණයක් කපා බිම හෙලා දමා ඇත. සූක්ෂම අයුරින් වනාන්තරය තුළට ඇතුලු වී කියත් වැනි ආයුධ භාවිතයෙන් ගස් කපා දමා කැබලිකරමින් තැනිත් තැන ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබේ. වනය තුල වාඩියක් තනා එය තුලට වී ආහාර  පවා සකස්කර කරගනිමින් කලක  පටන් මෙම ජවාරමේ නිරත වී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබේ.

වල්ලපට්ට ගස් වලට අමතරව තවත් ශාක විශේෂ රැසක් කපා දමා ඇති අතර ඒ නිසාවෙන් අලුතෙන් ජීවය ලබන කුඩා ශාකයන්ද විනාශ වී ඇති අතර වන සතුන්ගේ වාසස්ථාන පවා අහිමි වී ඇත. සර්ප විශේෂ , කුරුළු විශේෂ, ක්ෂීරපායින් විශේෂ සහ සමනලුන් වැනි කෘමි විශේෂ රාශියක් වෙසෙන මෙම පරිසර පද්ධතිය වැනසීම නිසාවෙන් ඔවුන්ටද විශාල බලපෑමක්  එල්ල වී ඇත. මේ නිසා මෙහි වාසය කල සතුන් ගම්මානය කරා පැමිණෙන අතර ඒ හේතුවෙන් වන ජීවීන්ගේ ජීවිත වලටද තර්ජන එල්ලවී තිබේ. වනසතුන්ට වාසස්ථාන සහ ආහාර අවම වීමෙන් වන සතුන් ගම් වැදී මිනිසුන් සමඟ ගැටුම් ඇති වීමද සිදු වේ.

ඉහල වටිනාකමක් ඇති මෙම ප්‍ර‍දේශය දිගින් දිගටම මෙලෙස  ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට නතුවී ගස්වැල් කපා දැමීම නිසාවෙන් රක්ෂිත කඳුමුදුනේ ස්ථායිභාවය බිඳ වැටී නායයෑම් සිදුවී කඳු පාමුල වෙසෙන ගම්වාසීනගේ ජීවීතවලට පවා හානි සිදුවීමේ අවධානමක් මතුව පවතී. අදාල නිලධාරීන් මේ දැවැන්ත විනාශය පිළිබඳව සොයා බලා රක්ෂිතය විනාශකල අයවලුන්ට නීතීය ක්‍රියාත්මක කොට මෙම රක්ෂිත කලාප රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු කාලය එලඹ තිබේ.

යෞවන සමාජයේ සභාපති   සමනල පේශල පසන් කරුණාරත්න මේ සම්න්දයෙන් වගකිව යුතු පිරිසගේ අවධානය යොමුවිය යුතු බව පෙන්වා දෙති. සුන්දරත්වයෙන් අනූන ජෛව විවිධත්වයෙන් පොහොසත් වනාන්තර බහුල වශයෙන් හමුවන්නේ පහත රට තෙත් කලාපය තුළදීය. බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල විශාල භූමි ප්‍රමාණයක් වැසී පවතින්නේ තෙත් වර්ෂා වනාන්තරවලිනි. සිංහරාජය, කේ.ඩී.එන්. සංකීර්ණය, හිනිඳුම කොට්ටව වනාන්තරය, යගිරල රක්‍ෂිතය, රූණ කන්ද යෝජිත රක්‍ෂිතය වැනි වනාන්තර ගණනාවක්ම මෙම ප්‍රදේශ ආශ්‍රිතව හමුවේ. මෙම ප්‍රධාන වනාන්තරවලට අමතරව රජයේ කැලෑ සහ යෝජිත රක්ෂිත ලෙස පවතින කුඩා වන බිම් රැසක්ද මේ ප්‍රදේශයන් ආශ්‍රිතව පවතී. මුල් යුගයේ තනි වනාන්තර සංකීර්ණයක් ලෙස පැවති විශාල වනබිම් ජනාවාසකරණය හා දැව සංහාරය නිසා කුඩා වනාන්තර බවට වෙන්වීම සිදුවූ අතර බස්නාහිර හා දකුණු පළාත්වල වේගවත් ජනගහන වර්ධනය හා සංවර්ධන ව්‍යාපෘති නිසා මෙම කුඩා වන බිමි ආශ්‍රිතව ජනාවාස බිහිවීමද සිදුවිය. මේ නිසා කළුතර, ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කයන් හා ඒ වටා පිහිටි ප්‍රදේශයන් තුළ වන බිම් ආශ්‍රිතව බිහිවූ ගම්මාන රැසකි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849 ඩී බෝගොඩකන්ද ග්‍රාමනිලධාරී කොට්ඨාසය තුළ පිහිටි ජම්බුගහහේන නාවලකන්ද මෙවැනි ජනාවාස අතර පවතින කුඩා වන භූමියකි. වලල්ලාවිට -ගුලවිට, උතුම්ගම මාර්ගයටත් වලල්ලාවිට – මීගහතැත්න, මතුගම මාර්ගයටත් මැදිව පිහිටන ජම්බුගහහේන නාවලකන්ද කුඩා වනබිම් සහිත උස් කඳු මුදුන් කිහිපයකින් සමන්විත වන අතර ඒවා එක් පැත්තකින් වැදිවත්ත ගම්මානයට හා අනෙක් පෙදෙසින් ලිහිණියාව හලවල් කැලයට මායිම් වේ. මෙම කඳු මුදුන්වලට මැදිව පිහිටන තැනිතලා භූමියෙහි මිනිස් ජනාවාස බිහිවී තිබෙන අතර ජනාවාසයන් අතර පිහිටි ජම්බුගහහේනකන්ද, නාවලකන්ද, කැතිමිටිගල කන්ද, බලගලකන්ද, ගුලවිටකන්ද වැනි වන ගහනයෙන් පිරි උස් කඳු මුදුන් සමූහයකින් මේ ජම්බුගහහේන නාවලකන්ද වන බිම් සමන්විත වේ.

මෙම ජෛව විවිධත්වයෙන් අනූන සොඳුරු පරිසර පද්ධතිය කිසිවකුගේ අවධානයට ලක් නොවී විවිධ තර්ජනයනට මුහුණ දෙමින් අද දක්වාම ආරක්ෂා වී තිබේ. මානව ජනාවාසවලට මැදිව පැවැතියද මේ වනාන්තර පද්ධතිය තුළද අනෙක් වැසි වනාන්තර මෙන්ම ඉහළ ජෛව විවිධත්වයක් දක්නට හැකිය. මෙම වනාන්තරවලින් මෙරටට ආවේණික වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක විශේෂ රැසක්ම හමුවේ. ඖෂධීය වටිනාකමක් සහිත ඒකදේශික ශාක විශාල ප්‍රමාණයක් මෙහිදී හමුවන අතර ස්වාභාවික වනාන්තරයන්ට අමතරව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද මහෝගනී වන වගාවක්ද මෙම කඳු ආශ්‍රිතව පවතී. ශාක විවිධත්වය මෙන්ම ඉහළ සත්ත්ව විවිධත්වයක්ද මේ වනාන්තර තුළ දැකිය හැකි අතර ඒකදේශීය ක්ෂිරපායී විශේෂ, පක්ෂි විශේෂ, සමනල විශේෂ සහ උරග විශේෂ ගණනාවක්ම මෙහිදී වාර්තා වේ. මෙම ප්‍රදේශ බස්නාහිර වෙරළට ආසන්න ප්‍රදේශ බැවින් සංචාරක පක්‍ෂීන් රැසක්ද මෙම ප්‍රදේශවලදී නිරීක්‍ෂණය කළ හැකිවේ. මේ ප්‍රදේශ ආශ්‍රිතව ගලා බස්නා කුඩා දිය දහරාවන් රැසක් පවතින අතර කුඩා දිය ඇලි කිහිපයක්ද දක්නට ලැබේ. මේ ආශ්‍රිතව මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ රැසක්ම හඳුනා ගැනීමට හැකිය.

3 වර්තමානයේ මේ වනාන්තර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් සීමා මායිම් සලකුණු කොට කණු දමා ආරක්‍ෂා කිරීමට උත්සාහ කළද වනාන්තරයේ වටිනාකම පිළිබඳ ජනතාව තුළ ඇති අඩු දැනුම නිසා ඔවුන් ඉඩම් අල්ලා ගැනීමට සහ සතුන් දඩයම් කිරීමට පෙලඹේ. මේ නිසා ගම්මානවල ජනතාව හා වනය අතර මිත්‍රශීලී සබඳතාවක් ඇති කොට වනය රැක ගැනීම සඳහා ජනතාව යොමු කිරීම මඟින් මේ වනාන්තර රැක ගැනීම සිදුකළ යුතුය. මෙරට බොහෝ වනාන්තර පිළිබඳ අධ්‍යයනයන් සිදුවූවද මේ වනය පිළිබඳ එවැනි අධ්‍යයනයන් සිදුවී නොමැති බැවින් විධිමත් ලෙස දැනුමැති විශේෂඥයන් මඟින් මේ වනාන්තර පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට මේ පිළිබඳව ජෛව හා පරිසර විද්‍යාත්මක දැනුම ලබා ගත යුතුය. ඒ මඟින් මිනිස් වාසයන් සමඟම වනයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ විධිමත් වැඩසටහනක් සකස් කළ හැකි වන අතර එය නාවලකන්ද මෙන්ම මෙරට බොහෝ වනාන්තර රැක ගැනීම සඳහා යොදා ගත හැකිවනු ඇත.

මෙම රජයේ කැලෑ ආශ්‍රිතව නිවාස හා බෝග වගා බිම් පැවතියද ඒවායේද ඉතා ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවන සතුන් විශාල ප්‍රමාණයක් මානව ජනාවාස හා බෝග වගා බිම් ආශ්‍රිතව සැරිසැරීම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. වල් ඌරන්, මුගටියන්, වළි කුකුලන්, කළු වඳුරන්, රිළවුන්, දඬු ලේනන්, මීමින්නන්, අළු කෑදැත්තන් වැනි සතුන් මානව ජනාවාස අතර නිරන්තරයෙන් දක්නට ලැබේ. එමෙන්ම වනයෙහි හටගන්නා දුර්ලභ අලංකාර මල් වර්ග රැසක්ද මෙම වනාන්තර ආශ්‍රිත ගෙවතුවල දක්නට හැකිය. මේ නිසා මෙම ගෙවතු හා වගාබිම්ද තුළ සැරිසරන්නන් හට සුන්දරත්වය පිරි චමත්කාරයක් අත්විඳීමට අවස්ථාව ලැබේ.

නමුත් සතුන් බෝග වගා ආශ්‍රිතව ප්‍රදේශයන්ට පැමිණීම නිසා මිනිසුන් සතුන් දඩයම් කිරීම සිදුකරන අතර මේ නිසා සතුන්ගේ ජීවිත කෙ‍රෙහි තර්ජනයන් එල්ල වී තිබේ. ගම්මානයට මැදිව මෙම වනාන්තර පැවතීම නිසා මේ අවට ජනතාවගේ බොහෝ අවශ්‍යතාවන් මේ වනාන්තර මඟින් සපිරේ. දර ඖෂධ ලබා ගැනීම, කිතුල් මැදීම, ගොරකා එකතු කිරීම වැනි වාණිජ ද්‍රව්‍ය ලබා ගැනීම මෙන්ම ඇතැම් ආහාර ද්‍රව්‍ය වනයෙන් ලබා ගැනීමට ගම්වැසියෝ පුරුදු වී සිටිති. ගම්මාන ආශ්‍රිතව පැවැතීම නිසා වෙනත් වනාන්තරවලට සාපේක්‍ෂව ඉහළ තර්ජනයක්ද මෙම වනාන්තරවලට එල්ල වී තිබේ. තේ වගාවට වනාන්තර ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමද මේ වනාන්තරවලට එල්ලවන ප්‍රධාන තර්ජනයකි. බොහෝ මිනිසුන් වනයේ සීමා අභිභවමින් තම තේ වගාවන් සිදුකර ඇති අයුරුද මෙහිදී දැකගත හැකිය. බස්නාහිර පළාත් සීමාව තුළ පිහිටා තිබෙන නිසා ඉඩම් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම සහ මිණිරන්, මැටි වැනි වටිනා ඛනිජ ද්‍රව්‍ය බහුල වීමද මෙම වනාන්තරවලට එල්ල කරන්නේ දැඩි තර්ජනයකි.මෙම වනාන්තරය රැක ගැනීම අපසැමගේම යුතුකමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *