යතුරු පැදිය ගන්න එකතුකළ මුදල් සමග නිවස ගින්නෙන් විනාශ වෙයි

නිවැසියන් නිවසේ නොමැති අවස්ථාවකදී නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව පල්ලෙවෙල පොලිසිය පවසයි. පල්ලෙවෙල වල්බෝලාන ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ හිමිකරුවන් කිසියම් කටයුත්තක් සදහා නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම ගින්න පෙරේදා රාත්‍රී 7 පමණ ඇවිලි ඇති බව පොලිසිය පවසයි. ගින්න නිසා නිවසේ තිබූ සියළුම බඩු මුට්ටු දැවී අළුවී ගොස් ඇති අතර නිවසියන්ට ඉතිරි වී ඇතිතේ ඇදි වත පමණි.

අසල් වැසියන් ගින්න ඇවිළෙන අයුරු දැක ඇති අතර ප්‍රදේශයේ පවතින උග්‍ර ජල හිගය හේතුවෙන් මෙවැනි විශාල ගින්නක් නිවා දැමීමට නොහැකි වී ඇති බව අසල් වැසියන් පවසයි. නිවසක් ගිනි ගන්නා බවට පසුව ආරංචි වී එම ස්ථානයට පැමිණි තරුණයින් පිරිසක් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් සම්පූර්ණයෙන්ම නිවස දැවී අළු වී ගොස් ඇත.

හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුත්‍රයා විසින් යතුරු පැදියක් මිළදී ගැනීම සදහා එකතු කර ගත් රුපියල් 150000 ආසන්න මුදලක් එකතු කර නිවසේ තබා සිට ඇති අතර එයද ගින්නට අළු වී ඇති බව දැනගන්නට ඇත. නිවසේ බාලම දියණිය පාසල් වයසේ දැරියක වන අතර ඇගේ පාසල් පොත් පත් සහ නිළ ඇදුම් පවා ගින්නෙන් දැවී අළුවී ගොස් ඇත.
ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත් වීය.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර නිවසේ ඇති වූ විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මේ සම්බන්ධයෙන් මීරිගම ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් අප කල විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සදහන් කලේ ගින්නට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති බවත් මෙය ස්වභාවිකව සිදුවූ විපතක් නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකි බවත් නැතිනම් මේ පිළිබදව සාකච්ජා කරීමට සිදුවන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *