උපකාරක පන්ති යන දැරිය සමඟ මිත්‍රවී දූෂණය කර අන්තර්ජාලයට මුදාහරින නරුමයා නීතියේ රැහැනට

උපකාරක පන්ති යන දැරිය සමඟ මිත්‍රවී දූෂණය කර අන්තර්ජාලයට මුදාහරින නරුමයා නීතියේ රැහැනට

දෙමාපියනි උපකාරක පන්තිවලට යන ඔබේ දරුවා සුරක්ෂිතද? අවධානයෙන් පසු වන්න

ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීව විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස එක්ව , ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමග මිත්‍රවී ඇය දූෂණය කොට එම අවස්ථාවන් රූපගත කරමින් අන්තර් ජාලයට මුදා හල බව කියන 27 හැවිරිදි කුලී කරුවෙකු ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකු වන සැකකරු අ.පො.ස.(සාමාන්‍ය පෙළ) පවා සමත් නොවු අයෙකු වන බවත් මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිනිස උපකාරක පන්ති වල ශිෂ්‍යභාවය ලබා ගෙන ඇති බව අනාවරණයවී ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමග මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්හිටවූ සිර දඩුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණය කොට ඇති බවද පොලීසිය කියයි.

මීට කෙටි කලකට පෙර ගම්පහ උපකාරක පන්තියකට සහභාගිවී ඇති 17 හැවිරිදි ගම්පහට නුදුරු ප්‍රදේශයක පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති මැය පවුලේ එකම දරුවා වන අතර සැකකරු ජීව විද්‍යා අංශයේ සිසුවෙකු ලෙසින් එම උපකාරක පන්තියෙහි සිටියදී මෙම තරුණිය සමග ප්‍රේම සබදතාවයක් ඇති කර ගෙන පසුව ගම්පහ ලැගුම් හලකට රැගෙන ගොස් දුෂණය කොට විවිධ ලිංගික වධ හිංසනයන්ට ලක් කිරීම මත තරුණිය මොහුගෙන් ඈත්වීමට තැත්කොට ඇත.

මෙම තරුණිය සමග මොහු ලිංගිකව එක්වීමේ අවස්ථාවන් රූපගත කොට ඇති අතර තරුණියට අවස්ථා කිහිපයකදීම යළි පැමිණෙන ලෙස දැනුම්දී ඇතත් ඇය නොපැමිණීම මත රූපගත කළ සියල්ල අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කළද නොපැමිණීම හේතුවෙන් රූපගත කිරීම් සැකකරු විසින් අන්තර්ජාලයට යොමු කළ බව පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී හෙළිව ඇත.

සැකකරු විසින් මෙම රූපරාමු අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමෙන් පසුව පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරීක්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් විවිධ හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදු කරමින් දුරකථන විශ්ලේෂණ වාර්තාද කැදවා ඇත. මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කොට සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කොට ඇති බවද පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

මෙසේ පරීක්ෂණ සිදු කරමින් සිටියදී පෙරේදා තරුණිය ලවා සැකකරුට ඇමතුමක් ලබාදුන් අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් කැලණිය පංසල අසලට එන ලෙසත් තමාට විරුද්ධව පොලීසියට කර ඇති පැමිණිලි ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් සැකකරු තර්ජනය කොට ඇති අතර මේ අනුව පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ඇතුලු නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් වෙස්වලා ගනිමින් කැලණි විහාරය අසල පෙර හතක පමණ කාලයක් සිටියදී සැකකරු විසින් තරුණියට ඇමතුමක් ලබා දෙමින් නිට්ටඹුව නගරයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

මේ අනුව ඔහු දැනුම් දුන් ස්ථානයට තරුණිය ගොස් කතා කරමින් සිටි අවස්ථාවේදී සැකකරු පොලිස් බාරයට ගත් බව අංශාධිපති වරයා කීය.

මොහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී තරුණිය සමග සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළ පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක්ද සොයා ගැනීමට හැකිව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර සමාජයට උපදෙසක් ලබා දෙමින් ප්‍රකාශ කොට සිටියේ, මව් පියන් තම දූ දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතිවා සේම විශේෂයෙන්ම තරුණියන් තැන තැන හමුවන පුද්ගලයින් ඇසුරු නොකිරීමට වග බලා ගත යුතු බවත් යම් සිදුවීමක් වීමෙන් පසුව පසුතැවිලි වීමට වඩා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවත්ය.

තරුණිය දුෂණයට ලක් කොට අන්තර්ජාලයට මුදා හැරීමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී (1) සේනාපති සිල්වා සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක වරුන් වන සුරේෂ් සහ සුජීව යන මහත්වරුන් ඇතුළු සැරයන් ජයලත් ( 8314) , කොස්තාපල් වරුන් වන තෙන්නකෝන් (12421), දීගායු (42550) , කාන්තා පොලිස් කොස්තාපල් වරියන් වන ප්‍රබෝධිනී (11200) සහ සෙව්වන්දි (10940) යන මහත්ම මහත්මීන් විසින් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු අද (8) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *