පිහි ඇනුමකින් අපරාධයකට සම්බන්ධ තරුණයෙකු මරුට

බද්දේගම නගරයට නුදුරු හෝටලයක දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිග ගිහින් : තියුණු ආයුධවලින් පහර කෑ පුද්ගලයා මරුට පහරදෙන්න පිරිමි 03ක්, ගෑනු 02 ක් ඇවිත්.සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගිහින්.පළාගිය සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුම්

(මියගිය පුද්ගලයා 2016 වසරේ වෙසක් පෝයට පෙර දින සන්ධ්‍යාවේ බද්දේගම නගරයේ පාලමක් මතින් මවක් සහ දියණියක් ගඟට දැමුවැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකි.)පහරදීමට සම්බන්ධ යැයි කියන පාර්ශ්වය 2016 සිද්ධියෙන් මිය ගිය කාන්තාවගේ ඥාතීන්.

බද්දේගම නගරයට නුදුරින් පිහිටි හෝටලයක් තුළ 06 වැනිදා රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනක් අතර සිදුවූ බහින්බස්වීමක් දුර දිගයාමෙන් තියුණු ආයුධවලින් පහර කෑ පුද්ගලයෙක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වැනිදා අලුයම 03ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි බද්දේගම පොලීසිය කියයි. 06 වැනිදා රාත්‍රී 10.50ට පමණ මේ සිද්ධිය වී ඇත.

සිද්ධියෙන් ජීවත්ක්ෂයට පත්ව තිබෙන්නේ බද්දේගම, කිරිබතාවිල ප්‍රදේශයේ පදිංචි චින්තක නුවන් නිර්මාණ (29) නැමැත්තෙකි. දෙදරු පියෙක් වන ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකි.

රෝහලේදී මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් අතර බද්දේගම, කිරිබතාවිල ප්‍රදේශයේ පිහිටි හෝටලය තුළදී බහින්බස්වීමක් ඇතිවී තිබේ. ඔවුන් මත්පැන් පානය කර සිටි බවද පැවසේ. අවට සිටි පිරිස පුද්ගලයන් දෙදෙනා සමතයකට පත් කිරීමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේදී එක් පුද්ගලයෙක් කිසියම් කෙනෙක්ට දුරකථන ඇමතුමක් ගෙන ඇත. යතුරුපැදියකින් පැමිණි තියුණු ආයුධ රැගත් පිරිසක් චින්තක පසුපස එළවද්දී චින්තක නැමති අය හෝටලය සහ නිවසක් අතරමැදින් දිවගොස් ඇත. ඒ අවස්ථාවේ දී පහරදීම සිදුව ඇතැයි පැවසේ. පිරිමි තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිද්ධියට සම්බන්ධ බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා 1990 ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වැනිදා අලුයම 03 ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

චින්තක නුවන් නැමති මිය ගිය පුද්ගලයා, 2016.05.20 හෝ එයට ආසන්න දිනක සන්ධ්‍යාවේදී පැමිණිල්ලක් සඳහා බද්දේගම පොලීසියට පැමිණ ආපසු නිවස බලා යමින් සිටි මව සහ දියණිය පොලීසිය පෙනෙන මානයේ පිහිටි බද්දේගම නගරයේ පාලම මතින් ගඟට දැමුවේයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකි. ඒ සිද්ධියෙන් 35 වියැති මව දියේ ගිලී මිය ගිය අතර, ගඟේ ගසාගෙන යමින් සිටි 16 හැවිරිදි දියණිය, තරුණයෙක් විසින් බේරා ගැනින.

චින්තක නුවන් නිර්මාණ නැමැත්තාට 06 වැනිදා රාත්‍රී මරණීය තුවාල සිදු කළැයි කියන පාර්ශ්වය 2016 දී වූ සිද්ධියෙන් මිය ගිය කාන්තාවට ඥාති සම්බන්ධයක් ඇති බවත්, එම පිරිස බද්දේගම මීමැඩුම සහ ඒ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියදර්ශන මහතාගේ අධීක්ෂණයෙන්, පො.ප. උදයකුමාර මහා ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා තිබේ. නිවාස වසා දමා සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද බද්දේගම පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *