පාලකයෝ රට වලින් ‍සිඟා කන අතරේ පාලිත යාචකයෝ මහ මඟ සිඟා කති!

දුගී – මගී – යාචක යන වචන තුනම ඉතිහාසයේ සිට අපට හමුවේ.

යාචකයා සම්බන්ධයෙන් මේවන විට ජනසමාජයේ රාවයක් හටගෙන තිබේ.රටපුරා යාචකයන් අල්ලා හම්බන්තොට අම්බලන්තොට රිදීගම  යවන්නට කටයුතු කරන බවට පොලිසිය පවසන බවට පැතිරිගිය කතාන්දරය පොලිසිය වැරදි බැව ප්‍රකාශ කළේය.සංගයා වහන්සේලා යාචකයන් බැව් මහ ඇඳුරෙක් පවසා ඇති කතාන්දරයක් නිසා එයද අදවන විට මහත් ආන්දොලනයක්ව අපවති.දුම්රියවල යාචක රස්සාවේ යෙදෙන්නට තහනමක් ද පනවා ඇත.මේ සියල්ල පහමුවේ ඇත්තටම සිඟන්නා යාචකයා,අදින්නා,නැතිනම් සිඟන සංස්කෘතිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් පෙන්වා දිය  හැකිය.      

යාචකයින් හෙවත් සිඟන ප්‍රජාව පිළිබඳව මේ වන විට ලාංකේය බහුතර ජනතාව අතර පවතිනුයේ සංශයාර්ථයකි. එසේ හෙයින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ ‘හිඟමන’ නීතියෙන් තහනම් කිරීම හා එය කඩකරනු ලබන පුද්ගලයින්ට නීතිමය පියවර ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවීම පිළිබඳවයි.එමෙන්ම අම්බලන්තොට රිදීගම වැනි ප්‍රදේශයක ගොඩනගන පුනරුත්ථාපන කඳවුරකට ඔවුන් ගෙනගොස් දැමීමටද අවධානය යොමු වී තිබේ.

යාචකයා පිළිබඳව කතාකිරීමේදී දුගී – මගී – යාචක යන වචන තුනම ඉතිහාසයේ සිට අපට හමුවේ. ඒ අනුව යාචකයා යනු දුගියෙකි. එසේම මගතොටදී මගීන්ගෙන් යැපෙනා බැවින් මගියෙකි. ඉල්ලාගෙන කන, එම ඉල්ලාගෙන කෑම සිය ජීවනෝපාය බවට පත්කරගත් තැනැත්තා හෝ තැනැත්තිය යාචකයා ලෙස සරලවම හැඳින්විය හැකිය.

“…‘යාචක’ නම කවරදාකවත් නිග්‍රහයක්, අවමානයක් හැටියට යොදා ගැනීම එකල සිදුවී නැත. බෞද්ධ භික්ෂුන්වහන්සේ පවා ගෙන් ගෙට පිඬුසිඟා වඩිමින් සිව්පසය ලබාගත්තේද එක්තරා අන්දමක යාචක වෘත්තියක් අනුගමනය කරමිනි. ආගමික අර්ථයක් ඇතිව කවුරුන් හෝ සිඟමනෙහි යෙදුනහොත් ඒ අයට සැලකීම අපේ උසස් ගුණාංගයක් විය. ඒ අය කවර ආගමක දහමකට අයත් වූවත්, සමාජය ඒ අයට සැලකුවේ ආධ්‍යාත්මික ගුණවගාවක් තිබෙන අය හැටියටය”.

ඒ අනුව අද වන විට සමාජය තුළ පවතින යාචකත්වයට සාපේක්ෂව අතීතයේදී අප රටෙහි යාචකයාට සමාජය තුළ කිසියම් ගෞරවයක්, එසේම අනුකම්පාවක් ගොඩනැගී පැවති බව පෙනේ. අද වන විට යාචකයෙකු දුටු සැනින් මගී ජනතාව කණස්සල්ලට පත්වේ. සැකය, බිය හා කළකිරීම වැනි මානසික පීඩනය හේතුවෙන් හැකිතරම් දුරට යාචකයන් මගහැර සිටීමට උත්සහ කරති. තමන් විසින් ලබාදෙන මුදල සත්‍යවශයෙන්ම ලබාදෙන්නේ යාචකයෙකුටමද? ඔහු හෝ ඇය සැබැවින්ම අසරණකම හේතුවෙන් යාචකත්වයේ යෙදෙන අයෙක්ද? ඒ ලබාදුන් මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරාවිද? නොඑසේනම් ඔවුන් විසින් අනුකම්පාව දිනාගනු පිණිස දිගහරින ලද වට්ටෝරුව සැබැවින්ම සත්‍යයක්ද? යනාදී බොහෝ ප්‍රශ්න ඉදිරියේ මගීහු මංමුලාව සිටිති.

සිඟමන් යැදීමේදී විශේෂයෙන්ම සිදුකරනුයේ මගී ජනතාවගේ සිත්වල අනුකම්පාව උපදින ආකාරයෙන් අවධානය දිනාගැනීමයි. මෙහිදී මගී ජනතාවගේ විවිධ චර්යා රටා, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, අත්වල රැගෙන යන බඩු බාහිරාදිය පිළිබඳව යාචකයන්ට මනා ඉවක් ඇත. එසේම නගරයට ආධුනික බව, මගී ජනතාවගේ කුතුහලය, සබකෝලය වැනි චර්යා රටා දෙස තීක්ෂණ දැනීමක් ඇති යාචකයෝ ඒ ක්ෂණයෙන්ම අසලට පැමිණ සිඟමන් ඉල්ලති.

විශේෂයෙන්ම ආගම දහම ගැන පාඨ කියමින් ජන හදවත් තුළ අනුකම්පාව වර්ධනය කිරීමට උත්සහ කරති. සියලුම ආකාරයේ ආගමික, පූජනීය ස්ථානවල ඒ ඒ ආගමට ගැළපෙන අයුරින් ආශිර්වාද කරමින්, පින් පමුණුවමින් ඔවූහූ හැසිරෙති. තමන් විසින් කරන ලද පූර්ව කර්මයක් හේතුවෙන් මෙසේ උපත ලද බවත්, හතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවා යන්නත් ප්‍රාර්ථනා කරති. බුදුන්, හදම්, සඟුන් සරණ ගුණ ගයති. මව් පිය ගුණ සිහිපත් කරමින් සැදැහැවත් ජනතාවගේ ආගමික සිතුම් පැතුම් අවුස්සති. ‘කෑ දේ ගඳයි – දුන් දේ සුවඳයි’ කියති. අසරණයන්ට සරණවීමේ ආනිශංස සිහිපත් කරති. ඒ ඒ ස්ථානයට සරිලන පරිදි කතාකොට සිඟමන් ඉල්ලති.

වරදක් වූවානම්, කරදරයක් සිදුවූවානම් වරකට සිය දහස් වාරයක් සමාව ඉල්ලමින් බස් රථවලට ගොඩවී අවසර පවා රැගෙන ක්‍රමවත් හා විධිමත් මහත්මා විලාසයෙන් සිඟමනේ යෙදෙන අයද සිටිති. ඔවුන්ගේ පිළිවෙලට, ක්‍රමවත් බවට ජනතා සිත් තුළ අනුකම්පාව උපදී. තිබේනම් කීයක් හරි දෙන ලෙස ඉල්ලා සිටිති. එසේම අතේමිටේ නැතිනම් අහක බලා නොගන්නා ලෙසත්, නුදුන්නා කියා අමනාපයක් නොමැති බවත් ඇත්ත ඇති සැටියෙන් කතා කරමින් සිඟමනේ යෙදෙති. අනෙකුත් යාචකයින් මෙන් නොව මොහු ඇත්ත කතා කරනවා, අවංක යාචකයෙකු යැයි යන හැඟීම මගී ජනතාව තුළ ඇතිවන අයුරින් හැසිරී ජනතාවගෙන් මුදල් ඉල්ලා ගනිති.

සිද්ධස්ථාන භූමි තුළ පමණක් නොව, අද වන විට රටේ සියලුම ස්ථාන ආවරණය කරමින් බස් නැවතුම් පොළවල්, දුම්රිය පළවල්, සංචාරක ස්ථාන, රෝහල්, ළමා උද්‍යාන, වෙරළාශ්‍රිත සංචාරක ප්‍රදේශ, ජනප්‍රිය පාසල් ආශ්‍රිතව, විශ්වවිද්‍යාල, පොලීසි, හමුදා කඳවුරු ආශ්‍රිතව මෙන්ම, විදුලි සංඥා පුවරු ආශ්‍රිතව වැනි සෑම ස්ථානයකම මගී ජනතාවගෙන් යමක් ඉල්ලා ගැනීමේ අරමුණින් විවිධාකාර යාචකයෝ ගැවසෙති. එමෙන්ම ඒ ඒ ස්ථානවලට සුදුසු පරිදි කතාකරති.

 තනි තනිව, පවුල් පිටින්, යුවල වශයෙන්, කුඩා ළමුන් පමණක්, එසේත් නොමැතිනම් කුඩා ළමුන් දෙදෙනෙකු, දරුවෙකු වඩාගත් මවක්/ පියෙක් යනාදී විවිධාකාර අයුරින් මොවූහූ ගැවසෙති. කෙසේ හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කොට, අතට මුදලක් ඉල්ලා ගැනීම මොවුන්ගේ එකම අරමුණ වී තිබේ. මගී ජනතාව අතිශය අපහසුතාවට ලක්වන අයුරින් මෙම යාචක ප්‍රජාව අද්‍යතනයේදී ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. අතේ තියෙන කීයක් හරි එක් අයෙකුට දුන්විට ඒ පිටුපසින් කිහිපදෙනෙකුම යළි යළිත් පැමිණ කරදර කරති. මුලින් දුන් කෙනාට නොදී පසුව පැමිණි අයෙකුට දුන්නේනම් හොඳයැයි විටෙක සිතේ. කිසිවෙකුට නොදී සිටින්නයැයි තිබුණෙ කියා තවත් විටෙක සිතේ. මුදල් නොදී සිටියහොත් ඔළුව අතගාති, අත් දෙකෙන් අල්ලති නොඑසේනම් දෙපිට කැපෙන කතා කියති. මෙම කරදරවලින් බේරීමට කීයක්හරි විසිකොට ඔවුන්ගෙන් ඉක්මනින් ඉවත්ව යන්නට මගීහු පෙළඹී සිටිති.

යාචකයන්ට වැඩි පිරිසක් යමක් දෙන්නේ පනටම නොවේ.සත්තකින්ම කරදරයෙන් බේරිමටය.යාචකයන්යැයි සිතා හිතේ උපදින පරම අනුකම්පාව නිසාවෙන් ගෙදර ඉන්නා දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සිහිකරමින් අතේ ඇති මුදලින් කොටසක් යාචකයින්ට ලබාදුන්නද, නිමේෂයකින් දුම්වැටියක් උරන ඇතැම් යාචකයින් දැකීමෙන් ඇඟේ මාළු නටන්නට පටන්ගත් අත්දැකීම් අපට මෙන්ම ඔබටද ඇතැයි සිතමු. වත්මනෙහි යාචකයෙකුට රුපියලක් දෙකක් දීමෙන් හෝ බත් පැකට්ටුවක් දීමෙන් ඔවුන්ව තෘප්තිමත් කළ නොහැකිය.

යාචකයින් පිරිස විවිධ ආකාරයෙන් අප වෙතට පැමිණේ.මේ අතර  අන්ධයෝ,සමහරු විරිදු කියති. තවත් අය මැජික්කාරයෝය. නාසයෙන් නූලක් යවා එය අතුරුදන් කරන ඇතැම්හු ගල්කැට ගිලිමින් ටියුබ්ලයිට් හපා කති. තවත් අය වෙළඳපොළ වටිනාකම ඉතාමත් අධික මිලකියි කියමින් රැගෙන එන පොත් කට්ටල අඩු මිලකට අළෙවි කරති. සමහරු හිටිවන කවිකාරයෝය. ගහෙන් වැටී ප්‍රතිකාර ලබන පිවරුන්ගේ කරඳඩු උස්වූ පුත්තුද, පලංචියෙන් වැටී ඔත්පලවූ පියවරුන්ගේ පුත්තුද තවත්විටෙක ඇතුළු වෙති. එසේ පැමිණ විවිධාකාරයෙන් ආමන්ත්‍රණය කොට ආයාචනා කරති. මගී ජනතාව තුළ බුද්ධාලම්භන ප්‍රීතිය, මව්පිය ගුණ, සහෝදර කැක්කුම, වැඩිහිටියන්ට ගරුකිරීම වැනි සමාජ සාරධර්ම වගාකිරීම සිහිපත් කරමින් ආගමට දහමට මුවාවී එය පළිහක් ලෙස යොදාගනිමින් සිඟමනේ යෙදෙති.ඒ සදහා විවිධ රංගනයෝ ද ඉදිරිපත් කරති.

මානුෂීය මෙහෙයුමේ වීරවරු ගැන,දෙමාපිය ගුණ, කතාව හා විවිෂ රංගන හා ඒ ආශ්‍රිත කඳුළු ඉතිහාසය කවියට නගමින් එකල අප විඳි පීඩිත තත්ත්වය සිහිපත් කොට ජනතාවගේ හදවත් මොළොක් කරති. උපායශීලී  ආකාරයට ජනතා සිත දිනාගනී.මෙය මහි ජනතානට සමහර විට මානසික වදවකි.ඇතැම් වේලාවට මගී ජනතාව යාචකයන්ටත් වඩා අසරණයෝය. සමහර සිගන්නෝ පොහොසත්ය. මගී ජනතා අද කාලයේ දුප්පතුන් ය.

බහුතර යාචක ප්‍රජාව තුළ සිටිනුයේ යාචක වේශධාරීන්ය. නීතියේ රැහැනින් ගැලවීමට සිඟන වෙස් ගත් අපරාධකරුවෝය. නොඑසේනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝය. එබැවින් අන්ත අසරණ වූ ශාරීරික ආබාධ සහිත අහිංසක යාචක ප්‍රජාවට පවා සිදුවන්නේ බරපතල අසාධාරණයකි. සැබෑ යාචකයින් අභිභවා සිඟන වේශගත් විවිධාකාර තරාතිරම්වල යාචකයෝ බහුල වශයෙන් වර්ධනය වී තිබේ. එසේ හෙයින් යාචක අර්බුදය උදෙසා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පෙර මෙම සැබෑ යාචකයින් හා සාවද්‍ය යාචකයින් කවරහුද යන්න නිසි අයුරින් හඳුනාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුමය. එසේ නොවෙතොත් සිදුවනුයේ සැබෑම යාචක ප්‍රජාව සියදිවි නසාගැනීමට හෝ හොර මැරකම් කල්ලි දක්වා වර්ධනය වී බරපතල සමාජ, ආර්ථික අර්බුදයක් විසින් වෙනත් අයුරකින් සමාජය වෙලා ගැනීමයි. එය ආරක්ෂිත රටේ ජනපති ගෝඨාභය මහතාගේ අවධානය යොමු විය යුතුව ඇත.          

යාචකත්වය යනු නිහඬ කෝටිපතියන් බිහිකරන කර්මාන්තයක් බවත්, බොහෝවිට සිදුවන්නේ සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් අද වන විට ජනතාව හොඳින්ම දනී. ජනතාව රවටා බොරු මවාපෑම් සිදුකොට එදිනෙදා තමන්ගේ ආදායම උපයාගැනීම මොවුන්ගේ වෑයම බවද ඔවුහූ දනිති. විශේෂයෙන්ම යාචකත්වය වෘත්තියක් බවට පත්වූයේ එහි ශීඝ්‍ර වර්ධනයත් සමඟයි.තමන්ට නැතිබැරිකමට, අපහසුකමට සිතුන සිතුන පලියට පාරට බැස සිඟමන් යැදීමට නොහැකිය. තැරැව්කරුවන් මාර්ගයෙන්, යාචක වෙළෙන්දන් ආශ්‍රයෙන් මෙම කර්මාන්තය වෙත ප්‍රවිෂ්ට විය යුතුය.

අපට නිතර ඇස ගැටෙන, හමුවන යාචකයින්ගේ පසුපස වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ඔවුන් ලබන දෛනික ආදායමෙන් වැඩිකොටස යන්නේ එම ක්‍රමවේදයේ තැරැව්කරුවන් වෙතය. නොඑසේනම් සාමාන්‍ය යාචකයෙකු දිනකට ලබන වැටුප සලකා බැලීමේදී රජයේ රැකියාවක නියැළෙන විධායක අංශයේ නිලධාරියෙකුට වඩා වැටුපක් ඔවුහූ ලබති. නවාතැන්, කෑමබීම, ඇඳුම් පැළඳුම් යන සියලුම අවශ්‍යතා සඳහා ඔවුන්ට එම මුදල් වැයවන්නේ නැත. ඒවා සුරක්ෂිතව ඉතුරු කළේනම් වසරක් හෝ දෙකක් ඇතුළත ඔවුහූ ලක්ෂපතියෝය. නමුත් සිදුවන්නේ තැරැව්කරුවන් වෙත ලාභය ගලායාමයි. එසේම ඉතුරු කොට ලක්ෂපතියන්, කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වූ ඇතැම් යාචකයින් පිළිබඳවද සමාජයේ විවිධ කතාබහ පවතී.

මෙම කාරණාව පිළිබඳව නිශ්චිත විවරණයක් සැපයීම අපහසුය. විවිධ හේතුසාධක මේ සඳහා සෘජුව හා වක්‍රාකාරව බලපායි. මෙරට තුළ මීට දශක ගණනාවකට පෙරාතුවනම් කිසියම් පුද්ගලයෙකු බොහෝවිට සිය උත්පත්තියෙන් හිඟමනට වැටුණේ නැත. සමාජානුයෝජනය ලබා ඔහු හෝ ඇය සමාජය තුළ විවිධ ස්ථර සමග ගණුදෙනුවේ යෙදෙන අතරතුරම යාචක තත්ත්වයට සමාජය විසින්ම ඇදදමයි. මෙය අද වන විට විවිධාකාර වෙනස්වීම්වලට ලක්ව තිබේ. පවුල්පිටින් සිඟමනට වැටී සිය පරම්පරාව මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයත් මහපාර තුළම තීරණය කරවන මහමග කුටුම්භ පරිසරයක් මෑත කාලීනව යාචකත්වය සමග බිහිවී තිබේ.

පවුලේ අසමගිය,සමාජ ප්‍රශ්ණ ආදිය නිසා බාලන ක්‍රමවල ඇති අඩුපාඩු කම් නිසා ද යාචකයෝ සමාජයේ වැඩෙන්නට වුහ.

සමාජ හිඟන්නන් ඇතිවන්නේ සමාජයට, සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුටම යෝග්‍ය රැකීරක්ෂාවල නිරත කරලීමට දුෂ්කර නිසාය. ඒ නිසා යාචකයෙකුවීම හා වෙනත් ආකාරයෙන් සමාජයෙන් ක්‍රමිකව ඉවතට තල්ලු කරන ලද තැනැත්තෙකුවීම මූල්‍යමය අතින් වාසිදායක වන්නේය. මේ මූල්‍යමය වාසියට වඩා සාර්ථක වෙනත් කිසිම විකල්පයක් සොයා ගන්නට නොහැකිවී ඇත. එසේම කිසිදු සමාජ හංවඩුවකින් එය නැවැත්විය නොහේ. ඒ නිසා හුඟදෙනෙක් රජයෙන් ලැබෙන සහනාධාර හෝ වඩා අඩුවෙන් වැටුප් ලැබෙන රැකීරක්ෂා හෝ ප්‍රතික්ෂේප කොට යාචක වෘත්තියට ඇදීයාම ස්වාභාවිකය.

යාචකයින්ට හිඟමන් නොදී සිටීමට වගබලා ගැනීමත්, යාචකත්වය නීතියෙන් තහනම් කිරීමත් යන යෝජනා ඒ අතර ප්‍රධානත්වයක් ගනී. හිඟමන් නොදී සිටීම යන කාරණාවේදී සැබෑ යාචකයින්ට සිදුවන අසාධාරණය වැළැක්විය නොහැක. එසේම නීතියෙන් යාචකත්වය තහනම් කිරීම තුළ සිදුවන්නේත් කිසිවකුත් කර කියාගත නොහැකිව අසරණව සිටින යාචක ප්‍රජාව අන්ත අසරණ තත්ත්වයට ඇදවැටීම පමණි.

එසේ හෙයින් මෙහිදී සිදුකළ යුත්තේ සැබෑම යාචකයින් හා යාචක වේශධාරීන් නිසි පරිදි හඳුනාගැනීමට ව්‍යාපෘතියක් දියත් කිරීමයි. එමගින් හඳුනාගන්නා ලද සැබෑ යාචක පිරිස් ඔවුනොවුන්ගේ හැකියා අනුව සලකා බලා මෙරට ශ්‍රම බළකායට ඇතුළත් කරගත හැකිය. ඔවුන්ටද ඡන්ද අයිතිය හා ඡන්දය ප්‍රකාශකිරීමේ අවශ්‍යතාව වටහාදී ජාතික හැඳුනුම්පතක් සමගින් මෙරට සක්‍රීය පුරවැසිභාවය වෙත අන්තර්ග්‍රහණය කිරීම කළ හැකිය. මෙතුළින් හඳුනාගන්නා ලද යාචක වේශධාරීන්ටද නීතියෙන් හා පුනරුත්ථාපන ක්‍රම ඇසුරින් උපදේශන ලබාදී මෙම සියලුම පිරිස් නවජීවනකරණයකට හෙවත් අලුත් ජීවන රටාවක් වෙත හුරු කරවීම ඉතාමත් කාලෝචිතය.

පාලකයෝ නරටේත්, පොදුවේ තමන් වැනිම ජනකොට්ඨාසවලත් අනාගතය වෙනුවෙන් පැහැදිලි අවබෝධයක් සහිත පුරවැසියෙකු ලෙස වත්මන් යාචක ප්‍රජාව සමාජ දේහය වෙත භාරගත යුතුය. යාචකයින් රැගෙන ගොස් එක් ප්‍රදේශයකට දමා යාචක කඳවුරු බිහිකිරීම සුදුසු නොවේ. එය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද මතක් කළ යුතුව ඇත.ලංකාවේ සමාජයීය ප්‍රශ්න අතර ඉහළින්ම වැජඹෙන මෙම අර්බුදය වෙත සමාජයීය නැඹුරුවකින්ම විනා වෙනත් අයුරකින් කිසිදා ප්‍රායෝගික විසඳුම් සෙවිය හැකි නොවනු ඇත.රට ගොඩ යන්නට නම් පාලකයෝ මේ බව සිහි තබාගෙන කටයුතු තළ යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *