මහැදුරු විනී විතාරණ ඇදුරු සඳ පිළිබඳ සොඳුරු මතක

සම්මානිත මහාචාර්ය විනී විතාරන ඇදුරු සඳ පාමුල පිදෙන පිවිතුරු කුසුමක්‌

මේ නම අපට පළමුවෙන්ම අසන්නට ලැබුණේ අප පාසල් සිසුන්ව සිටියදීය. සිංහල භාෂා සාහිත්‍යය පිළිබඳ විශාරදයකු වූ ලෙස අපි එතුමන් ගැන දැන සිටියෙමු. මා උගත් පාසල් පුස්‌තකාලයන්හි තිබූ එතුමන්ගේ පොත්වල පිටකවර අපට විනී විතාරණ නාමය දර්ශනය කළ ප්‍රථම මුද්‍රිත ලේඛන විය. සාමාන්‍ය පෙළ සිසුන්ව සිටියදී අපට එතුමන්ගේ පොත්වල අන්තර්ගතය පිළිබඳ අවබෝධයක්‌ නොවීය. එහෙත් උසස්‌ පෙළ පන්තියට සමත් වීමෙන් පසු සිංහලද අපගේ එක්‌ ප්‍රධාන විෂයක්‌ බවට පත්වීමත් සමග විනී විතාරණ විද්වත් නාමය වෙනදාට වඩා අපට සමීප විය.

උසස්‌ පෙළින් පසුව ශ්‍රී ජයවර්ධනපුර විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයට භාග්‍යවත් වූ මගේ ප්‍රථම වර්ෂයේ ප්‍රධාන විෂයත්‍රය වූයේ සංස්‌කෘත, සිංහල සහ ඉතිහාසයයි. ඒ 1981/82 අධ්‍යයන වර්ෂයයි.

සිංහල අධ්‍යයනාංශයේ එක්‌ ගුරු කුටියක තිබූ ගුරු මේසයක වීදුරුවට යටින් කළු අකුරින් මුද්‍රිතව මහාචාර්ය විනී විතාරණ නාමය වීය. එහෙත් කිසි දවසෙක අපට එතුමා නම් දකින්නට ලැබුණේ නැත. ඊට හේතුව ඒ වන විට එතුමා ලද ඇරැයුමක්‌ අනුව අලුතින් ආරම්භ කළ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රථම අංශ ප්‍රධානවරයා ලෙස පත්ව ගොස්‌ සිටීමයි.

විනී විතාරණ මහාචාර්යතුමන් පිළිබඳ තෙවැනි මතකය අවදි වන්නේ 1996 වර්ෂයෙන් පසුවය. ඒ වන විට බිරිඳත් මමත් දෙදෙනාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලයට ඇතුළත්ව සිටියෙමු. එවක අප සිටියේ ශ්‍රී සෝරත නේවාසිකාගාරයට අයත් නිල නිවාසයකය. ඒ මහාචාර්ය විනී විතාරණ මහත්මා භාෂා හා සංස්‌කෘතික අධ්‍යයනාංශයේත්, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේත් ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි කාලවකවානුවකි. එතුමන්ගේ පාණ්‌ඩිත්‍යයේ මාහාත්ම්‍යය පිළිබඳව අපට අත්දැකීම් ලැබෙන්නට පටන් ගන්නේ එතැන් සිටය. ඒ අනුව මහාචාර්ය විනී විතාරණ යනු සිංහල භාෂා සාහිත්‍යය මතු නොව ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳව ද බොහෝ දේ උගත හැකි මහා පඬිවරයකු බව අපට අවබෝධ විය. එපමණක්‌ නොව භූගෝල විද්‍යා විෂය ක්‌ෂේත්‍රය පිළිබඳවත් එතුමා ප්‍රාමාණිකයෙක්‌ විය. මෙයින් පැහැදිලි වන්නේ මහාචාර්ය විනී විතාරණ යනු මානව ශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා යන විෂය ක්‌ෂේත්‍ර දෙකම සම්බන්ධ කරන පාලමක්‌ බවය. අපට ඒ බව වඩාත් හොඳින් අවබෝධ වූයේ පසු කලෙක පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ කටයුතුවලට එතුමාගෙන් ලැබුණු සුවිශිෂ්ට දායකත්වය පිළිබඳ අවබෝධය ලැබීමත් සමගය.

විනී විතාරණ චරිතයේ තවත් අවියෝජනීය අංගයක්‌ වූයේ උපහාසයයි. ඒ උපහාසයත් සමග ආදරණීය භාවය රැඳිණි. අනාදරණීය අපහාසය එතුමාගේ චරිතාංගයක්‌ නොවීය. සමීපාර්ථයේ යෙදෙන උප යන උපසර්ගය පූර්වයෙන් යෙදී සිනාසීම යන අර්ථ දෙන “හස්‌” ධාතුවෙන් නිපන් “උපහාස” යන්නෙන් අර්ථවත් වන්නේ කෙනකුගේ දුබලතාවක්‌ පෙන්වා දී ඔහු හෝ ඇය එයින් මුදා ගැනීමේ පිවිතුරු අරමුණින් සමීප වී සිනාසීම යි. දූෂිතාර්ථයේ යෙදෙන “අප” උපසර්ගය පූර්වයෙන් යෙදී යටකී “හස්‌” ධාතුවෙන් සෑදෙන “අපහාස” යන්න මීට වෙනස්‌ය. එය කෙනකු අවමානයට පත් කිරීමේ අදහසින් හෙළා දැකීමේ අදහසින් සිදු කරන දුරස්‌ ක්‍රියාවකි.

පහත සඳහන් වන්නේ විනී විතාරණ චරිතය වෙතින් උපහාසය මුසු වචන ප්‍රකාශයට පත්වූ අවස්‌ථාවකි. මේ සිදුවීම වූයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ මාසික පීඨ රැස්‌වීම් වාරයකදීය. එක්‌ අපේක්‍ෂකයකු විසින් “සිංහල ජනකවිය තුළින් ප්‍රතීයමාන වන කාන්තාව” යන මාතෘකාව සිය පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා ඉදිරිපත් කොට තිබිණි. මේ මාතෘකාව කියෑවූ විනී විතාරණ මහාචාර්යතුමා, ‘තුළින්’ යන්න ඉවත් කොට “සිංහල ජන කවියෙන් ප්‍රතීයමාන කාන්තාව” ලෙස මාතෘකාව සංශෝධනය කළ යුතු බව පවසා ඇත. එවිට වෙනත් විද්වතකු විසින් පවසනු ලැබ ඇත්තේ “ජනකවිය තුළින්” කියා ලියූවත් “ජන කවියෙන්” කියා ලියූවත් ඒ දෙකෙහි වෙනසක්‌ නැති බවයි. “හැබෑට” යනුවෙන් පැවසූ මහාචාර්යතුමා එසේ නම් පහත සඳහන් වාක්‍ය දෙකෙහි අර්ථය එකක්‌ දැයි අසා තිබේ.

“උඩරට සාරියෙන් නිරූපිත කාන්aතාව”

”උඩරට සාරිය තුළින් නිරූපිත කාන්තාව”

මේ ඇසූ යටකී විද්වතා මහාචාර්යතුමා හරි යෑයි පවසා සිය වරද නිවැරැදි කොටගෙන ඇත.

පහත සඳහන් වන්නේද තවත් එබඳුම අවස්‌ථාවකි. ඒ ගැන සඳහන් කරන්නේ කිසිදු විද්වතකුට අපහසුකමක්‌ ඇති කිරීමේ අරමුණින් නොව අප මහාචාර්යතුමාගේ උපහාස වචන බිණීමේ හැකියාව පැහැදිලි කිරීමේ අදහසිනි.

වරක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය යටතේ පශ්චාද් උපාධියට ලියාපදිංචි වූ ශිෂ්‍යයකු විසින් සිය මාතෘකාව ලෙස තෝරා ගනු ලැබ තිබුණේ “ටී. එස්‌. එලියට්‌ගෙන් සිංහල සාහිත්‍යධරයන් ලද ආභාසයයි”. මේ අපේක්‍ෂකයා වරෙක අප හමුවීමට පැමිණියේ යට කී මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසු අප දන්නා හඳුනන විද්වතුන් ගැන දැන ගැනීමටය. ඔහු පැමිණ සිටි අවස්‌ථාවේ මහාචාර්ය විනී විතාරණ මහාත්මාද අපගේ අධ්‍යයනාංශයට පැමිණියේය. මම යටකී පශ්චාද් උපාධි අපේක්‍ෂකයා එතුමන් වෙත යොමු කළෙමි. ඒ ඇතැම් නූතන දේශීය පද්‍ය නිර්මාණවල ටී. එස්‌. එලියට්‌ගේ ආභාසය ඇති බවට ප්‍රචලිත අදහසක්‌ තිබූ බැවිනි. එවිට යටකී තරුණයා පැවසුවේ තමා ඒ අදාළ අය හමුවූ බවත් ඔවුන් ටී. එස්‌. එලියට්‌ගේ ආභාසය නොලැබූ බව ප්‍රකාශ කළ බවත්ය. “හැබෑට” යනුවෙන් කී මහාචාර්යතුමා පැවසුවේ පහත සඳහන් වදන් කිහිපයයි.

“එක්‌කෝ ඔවුන් ටී. එස්‌. එලියට්‌ගේ ආභාසය ලබන්න ඕනේ. එහෙම නැත්නම් එලියට්‌ ඔවුන්ගේ ආභාසය ලබන්න ඕනේ. ඔවුන් කියනවා නම් තමන් එලියට්‌ගේ ආභාසය ලැබුවේ නැහැ කියලා. එකත් එකටම වෙන්න ඇත්තේ ටී. එස්‌. එලියට්‌ ඔවුන්ගේ ආභාසය ලබා ඇති බවයි..”

මගේ මහාචාර්ය ධුරය පිළිබඳ සම්මුඛ පරීක්‍ෂණයේ දී සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලය නියෝජනය කළ එක්‌ ගෞරවනීය සාමාජිකයකු වූයේ මහාචාර්ය විනී විතාරණ මහත්මයාය. එතුමා එදා ඇසූ ප්‍රශ්නත් මා දුන් පිළිතුරුත් අවසන එතුමන් වෙතින් ලද ඇගයුම් මුසු ආශිර්වාදයත් මට අද වගේ මතකය. මගේ ජීවිතයේ වැදගත්ම කඩඉමක තීරක චරිතයක්‌ ලෙස මේ ගෞරවනීය මහාචාර්යවරයා දකින්නට ලැබීම ඉමහත් භාග්‍යයක්‌ කොට සලකමි.

මගේ මේ ලේඛනය අවසන් කරන්නට සිතෙන්නේ විනී විතාරණ මහාචාර්යතුමා හා බැඳුණු තවත් එක්‌ සොඳුරු සිදුවීමක්‌ පිළිබඳ සඳහන් කරමිනි. මෙයින් වර්ෂ කිහිපයකට පෙර මෙරට වැඩිහිටි විද්වතුනට, ලේඛකයනට, කවීනට බුහුමන් දැක්‌වීමේ උළෙලක්‌ ගාල්ලේ ජී. ඇම්. අජිත් කවියා ඇතුළු පිරිසක්‌ විසින් සංවිධානය කොට තිබිණි. ඒ උත්සවයේදී ගරු බුහුමන් ලද විශිෂ්ට චරිත අතර මහාචාර්ය විනී විතාරණ මහත්මාද විය.

තමාට සභාව ඇමතීමට ලැබුණු අවස්‌ථාවේදී එතුමා තමා වන් වැඩිහිටි පරපුරට ගරු බුහුමන් පිදීමට ගත් සත් ප්‍රයත්නය අගය කොට එබඳු කටයුත්තක්‌ කිරීමට මුල්වූ ගාල්ලේ ජී. ඇම්. අජිත් ඇතුළු ඔහුගේ පරපුරට සිය ප්‍රණාමය පුද කරන බව දෑත් එකතුකොට පැවසීය. ඒ දෑත් යොමුව තිබුණේ ගාල්ලේ ජී. ඇම්. අජිත් දෙසටයි. වහා වේදිකාවට පැමිණි ජී. ඇම්. අජිත් කවියා මහාචාර්ය විනී විතාරණයන්ට වැඳ සොඳුරු අරුත්බර කවියකින් එතුමන්ට තමා අයත් පරපුරේ ගෞරවය සහ ආදරය පළ කළේය. අපගේ ආදර ගෞරවය පළ කිරීමට ඒ කව තරම් සුදුසු කවක්‌ මගේ සිහියට නොනැඟෙයි. එහෙයින් එදා ගාල්ලේ ජී. ඇම්. අජිත් කී ඒ සොඳුරු කවම සම්මානිත මහාචාර්ය විනී විතාරන ඇදුරු සඳ පාමුල පිදෙන පිවිතුරු කුසුමක්‌ කොට මෙම සටහන නිමා කරනු රිසියෙමි.

යුතුකම පරිදි ඉටු කළමුත් පුළුවන් දේ

මහ පඬි රුවන මොන එකට ද මට වැන්දේ

මම වේ තුඹස අඩියක්‌ පමණයි බැන්දේ

ගෑවෙන්නවත් බෑ ඔය සමනළ කන්දේ

මහාචාර්ය විනීවිතාරණ උපහාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *