මා ජනාධිපති වුවිට ඉස්සෙල්ලම කරන්නෙ පක්ෂයෙන් ඉවත්ව නිර්පාක්ෂකව කටයුතු කිරීමයි–රොහාන් පල්ලෙවත්ත

මා ජනාධිපති වුවිට ඉස්සෙල්ලම කරන්නෙ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පක්ෂයෙන් ඉවත්ව නිර්පාක්ෂකව කටයුතු කිරීමයි–ජාතික සංවර්ධන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලෙවත්ත

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සියලුම දෙනා අතුරින් රජයට වැඩිම ආදායම් බදු ගෙවනු ලබන්නේත් , රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එනු ලබන්නේත්, වැඩිම පිරිසකට රැකියා ලබාදී ඇත්තේත් තමන් බව ජාතික සංවර්ධන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ගම්පහදී පැවසීය.

සිය ජයග්‍රහණය පතා ගම්පහ නගරයේ පැවති ජන හමුවේදී පල්ලෙවත්ත මහතා එසේ සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රොහාන් පල්ලෙවත්ත මහතා මෙසේද කීය.

” මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. ලෝකයේ රටවල් ගණනාවක ජනතාවගේ ජීවිත රැකගැනීම පිනිස වාහන සදහා ආරක්ෂක මෙවලම නිශ්පාදනය කරනු ලබන මගේ කර්මාන්ත ශාලාවකයි. මෙය අවුරුදු විස්සක කාලයක් පුරා පවත්වාගෙන යනු ලබනව. ලෝකයේ අය අපිට එම අයගේ ජීවිත බාරදී තිබෙනව. ලෝකයේ විශාල පිරිසකගේ ජීවිත අපිට බාර දෙන්නට හැකිනම් අපිට තව මොනවද බාර දෙන්න බැරි.

ගම්පහ උපන් මම උපයාගත් ධනයෙන් බොහොම සැහැල්ලු ජීවිතයක් ගත නොකර මේ දේශපාලන මඩ ගොහොරුවට බැස්සෙ හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට , ජනතාව ගෙවන ජීවිත දෙස බලා එසේ සිටීමට නොහැකි නිසයි. මගේ සීයා හෙනරත්ගොඩ ගම් සභාවේ එක දිගට අවුරුදු දහ අටක් සභාපති වරයා ලෙස කටයුතු කර තිබෙනව.සීයා ගම්පහට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ ජාන තිබෙන හින්දා තමයි සාර්ථක ව්‍යාපාරයෙකු ලෙස පැත්තකටවී නොසිට රට වෙනුවෙන් දේශපාලනයට පිවිසෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මම තීරණය කළේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මම ප්‍රකාශ කළේ අවුරුදු තුනකට කලින්.

මේ වනවිට විශාල ණය බරකින් පසුවන අපේ රටට ලබා ගෙන ඇති ණයවලට ගෙවන පොලිය සියයට හතක්, අටක් පමණ වෙනව. සියයට එකට පමණ ණය ගතහැකි මූලාශ්‍ර ලෝකයේ තිබෙනව. එසේ ණය දීමට කැමති අය ලංකාවට ආව. ඔවුන් මොකද කිව්වෙ, අපි සියයට එකට ගේන ණය මේ රාජ්‍ය යාන්ත්‍රණය තුලින් ගියාම සියයට හතක්, අටක් බවට පත් වෙන බව කිව්ව. අන්න එවිට තමයි මම තීරණය කළේ ජනතාවට මේ සත්‍ය හෙළිකරව කියල. රටේ දැනට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වෙනව. බොහෝ අය කියනව කියන තරම් ලෙහෙසි නැහැ කියල. ඔබ සැම දන්නව, මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් මහත්තය. ඔහු දෙවන වරටත් අගමැති වෙලා චීනයට ගිහින් කියනව, අපි ණය අරන් තියෙන බව ඇත්ත. නමුත් දැන් අපිට මේව ගෙවන්න බැහැ. කරුණාකරල ණය ගිවිසුම් වෙනස් කරන්නයි කියල. රටක නායකයෙකුට පෞරුෂත්වයක් තිබීම අවශ්‍යයි. අන්න ඒ නායකත්වය මේ රටට ලබාදීමට මම සූදානම් කියන එක මම කියනව.

මගෙන් මේ දිනවල ඇතැමුන් අහනව ඔබ මේ රටේ ජනාධිපති උනොත් මොකද කරන්නේ කියල. මම ඉස්සෙල්ලම කරන්නෙ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පක්ෂයෙන් ඉවත්ව නිර්පාක්ෂකව කටයුතු කිරීමයි. ජනාධිපති යනු සෑම කෙනෙකුගේම නායකයායි. ඊට පස්සේ කරන්නෙ මම කිව්වා වගේ මාස දොළහක් වැනි කෙටි කාලයක් තුල සෘජු විදේශීය ආයෝජන විදියට අපිට අමෙරිකන් ඩොලර් බිලියන දහයක් අවශ්‍යයි. ඒ බිලියන දහයෙන් අවුරුදු තුනක් තිස්සේ එංගලන්තය, ජපානය වැනි රටවල් ගණනාවකට ගිහිල්ල මේ වනවිට අපි පොරොපොරොන්දු කරගෙන තිබෙනව, මගේ නායකත්වයක් යටතේ මේ රටට අමෙරිකන් ඩොලර් බිලියන හතරක් සොයා ගෙන තිබෙනව මේ වනවිට. මම අහන්න කැමතියි ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් මෙවන් සැලසුම් තිබේද කියල. ප්‍රශ්ණ විසඳගන්න තමන් දැනට කර ඇති දේවල් පෙරට විත් කියන්න ඕන. මම ව්‍යවසායකයෙකු ලෙස දැඩි විශ්වාසයකින් යුතුවයි දේශපාලනයට ඇවිත් ඉන්නෙ. මේ කියන දේවල් කරන්න පුලුවනි.

මේ රට කෙටි කාලයක් තුළ දියුණු කළ හැකියි. මේ රට දියුණු කරන්න බැරිනම් වෙන දියුනු කළ හැකි රටක් නැහැ. අපේ රටේ ඛනිජ වැලි, පොස්පේට් නිධිය, මිනිරන්. මේවාට අගය කළ හැකි ව්‍යාපෘති ඕන තරම් මේ රටට ආව. මේව එනව යනව. රටට එන ආයෝජකයින්ගෙන් විශාල ලෙස කොමිස් ඉල්ලන නිසා ආයෝජකයින් රටට එන්නේ නැහැ. රටේ මේ සම්පත් වලින් රට දියුණු කළ හැකියි. රටේ වෙනසක් කරන්න හැකි නිසයි මම දේශපාලනයට ආවෙ.

මම මගේ ප්‍රතිපත්ති සකස් කළේ අවුරුදු තුනකට කලින්. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට අවසන්. මගේ ප්‍රතිපත්ති ඉටුකිරීම අමාරුයි.මගේ ප්‍රතිපත්තිය අමාරුදේ කෙසේ හෝ කළ යුතුය යන්නයි.

විශ්ව ශක්තිය සමග එක්ව මේ ගමනේ සත්‍යභාවය නිසා මේ ගමන , මගේ ජීවිත කාලය තුල , ඔබේ ජීවිත කාලය තුල සපථ කර ගැනීමට හැකි බව මට විශ්වාසයි. මගේ සමාගමෙන් වසරකට මේ රටට අමෙරිකන් ඩොලර් මිලියන 80 ක් විතර ගෙනෙනව. මම වගේ ව්‍යවසායකයින් තව දහසක් ඇති කළහොත් ඩොලර් බිලියන 80 නිකම්ම බිලියන 180 ක් වෙනව. මේවයි රට දියුණු කළ හැකි ක්‍රම. ව්‍යවසායකයින් නැතිව රටවල් හදන්න බැහැ. මේ රටේ වැඩිපුරම ඉන්නෙ ඩීලස්ල. ගේම් ගහල සල්ලි හොයන අය. අපි මහන්සියෙන් හම්බ කරන අය විදියට, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සියලුම දෙනා අතරින් රජයට වැඩියෙන්ම බදු ගෙවන්නෙ මම . වැඩිම විදේශ විනිමයක් රටට ගෙනෙන්නෙ මම . ඒ වගේම මේ අය අතුරින් වැඩිම රැකියා සපයා තිබෙන්නේ මම. ඒ නිසා මම මේ ඡන්දය ඉල්ලන්නෙ දෙන්නම් කාසි වලට නෙමෙයි.

මේ වනවිට ලෝකයේ සිදුවෙමින් පවතින්නේ සිව්වන කාර්මික විප්ලවයයි. මීට අපි ගොඩවන්නේ කෙසේ කියා අපි බැලිය යුතුයි. අපේ රට දියුණු කළ හැකි ක්‍රම තිබෙනව. මේ සදහා අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය සහිත නායකයෙකු පමණයි. වසර 71 ක් තුල මේ රට දියුණු කරගත නොහැකිව ඇත්තේ දැක්මක් නැති නිසයි. මෙය අපි වෙනස් කළ යුතුයි. ඒ සදහා මෙම ජනාධිපතිවරණය පමණක් නොවෙයි, ඊළඟට එළැඹෙන මහ මැතිවරණයේදී දක්ෂ පිරිසක් අපි ව්‍යාවස්ථාදායකයට යැවිය යුතුයි. දක්ෂයින් පිරිසක් යැවිය යුතුයි. වැඩ පෙන්වූ පිරිසක්. පොඩි කාලේ ඉගෙන ගන්න බැරි උනාම දේශපාලනය කරල , ප්‍රාදේශීය සභාවට ,නගර සභාවට ගිහිල්ල එතැනින් පරිපෝෂිතයින් නොව රටට යම් සේවයක් කළ හැකි පිරිසක් ව්‍යවස්ථාදායකයට එක් කරමු. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *