ගංජා තොගයක් හමුදා සෙබළෙකු වැලිගමදී පොලිස් අත්අඩංගුවට

වැලිගම, උඩුකාව ප‍්‍රදේශයේ කේරල ගංජා ජාවාරමේ නිරත වි සිටියදී වැලිගම පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද  යුද්ධ හමුදා සෙබලා 2019 ඔක්තෝම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස දිසානායක මහතා ඊයේ (21) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැලිගම පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ වැලිගම, උඩුකාව පදිංචි අසංක උදාර (29) නැමැති යුද්ධ හමුදා සෙබලෙකි.

සැකකරු කේරල ගංජා ජාවාරමේ නිරතව සිටියදී වැලිගම පොලීසියට ලද තොරතුරක් මත සිකුරාදා (20) දින අත් අඩංගුවට ගත්බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයේ නිලධාරියෙක් සදහන් කළේය. සැකකරු සන්තකයේ තිබි කේරල ගංජා කිලෝ ග්‍රෑම් එකකට (1Kg) ආසන්න ප්‍රමාණයක් සහ කේරළ ගංජා වල බර කීරිම සදහා යොදා ගන්නා ඉලොක්ට්‍රොනික තරාදියක් ද වැලිගම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.  

සැකකරු මුලතිව්හි පිහිටි 23 වන විජයබා පාබල හමුදා කඳවුරට අනුයුක්තව යුද්ධ හමුදා සෙබලකු ලෙස සේවය කරන බවත් හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ සිටියදි මෙලෙස කේරල ගංජා ජාවාරමේ නිරතව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දීර්ඝ කාලයක සිට සැකකරු නිවාඩු ලබා පැමිණ සිටින අවස්ථා වලදි මෙලෙස කේරල ගංජා ජාවාරමේ නිරතව සිට ඇති බවත් සැකකරු එය අමතර ආදායම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලීසිය විසින් සිදු කරන ලද මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය කර ගැනීමට හැකි වි තිබේ.

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ලොකුගේ මහතාගේ මෙහෙයවීම මත  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් විපුල (16030) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *