රමේෂ් පතිරණ එජාපය සමග ඩබල් ගේම් ගහනවා // ගාල්ලේ හිටපු නගරාධිපති කියයි!!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතු වීම හේතුවෙන් ගමේ එජාප විරෝධී පාක්ෂිකයාට ඒකරාශී කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගූ බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ගාල්ලේ දේශපාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා යැයි ගාල්ල හිටපු නගරාධිපති, නාගරික මන්ත්‍රී කැලුම් සෙනෙවිරත්න මහතා අද (22) ප්‍රකාශ කළේය.

ඒ නිසාම රමේෂ් පතිරණ මහතා වැනි අය සමග පොදුජන පෙරමුණ වෙනුවෙන් ගාල්ලේ දේශපාලනය නොකරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙනම දේශපාලන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

ගාල්ල කොට්ඨාශයේ පොදුජන පෙරමු‍ණේ සංවිධාන කටයුතු පිළිබදව මාධ්‍ය ඒ මහතාගෙන් විමසූ අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක්වූ කැලුම් සෙනෙවිරත්න මහතා මෙසේද කීය.

අද ගාල්ල නගර සභාව පවත්වාගෙන යන්නේ පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා. මේ සදහා පොදුජන පෙරමුණට උදව් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 06 දෙනෙක්. නගර සභාවේ සම්පූර්ණයෙන්ම වරප්‍රසාද භුක්ති විදින්නේ මේ එජාප මන්ත්‍රීවරුන්. මැතිවරණය වෙලාවේ එජාපය වෙනුවෙන් මට විරුද්ධව කඩුවක් අරගෙන ආපු අයත් අද නගර සභාවේ රක්ෂාවක් කරනවා.

එජාපයයි, ශ්‍රිලනිපයයි එකතු වුණාම ඒකට විරුද්ධව රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාල කටයුතු කළා. අපි අදටත් ඉන්නේ එතන. ගමේ එජාප විරෝධී පාක්ෂිකයා එකතු කරන්නයි, පොදුජන පෙරමුණ හැදුවේ කියල කිව්වා. එක්සත් ජාතික පක්ෂයට තිබෙන මේ විරෝධය තිබෙන්න ඕනෑ කොළඹ දේශපාලනයේදී විතරද? ගාල්ලේදි එකතු වුනාම කමක් නැද්ද?

අද ගාල්ල කොට්ඨාශයේ පොදුජන පෙරමුණු පාක්ෂිකයා එජාපයට පාවල දීලයි තිබෙන්නේ. එජාපයත් එක්ක නගර සභාව කරන නගරාධිපතිවරයා අද පොහොට්ටුවේ ගාල්ල කොට්ඨාශයේ සංවිධායකයා ලෙසත් පත්කරගෙන යැයිද කැලුම් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මම පොදුජන පෙරමුණ වෙනුවෙන් දිගටම දේශපාලනය කරනවා. හැබැයි ගාල්ලේ එකයි, කොළඹ එකයි කියන අයත් එක්ක නොවෙයි. ගෝඨාභය මහත්තයා අවංක දේශපාලනඥයෙක්. එතුමා එක්ක එකතු වෙලා වැඩ කරනවා. රමේෂ් පතිරණ මහත්තයලාට එජාපයට බණින්න අයිතියක් නැහැ. එතුමා ගාල්ලේ ඉන්නේ එජාපයත් එක්ක. අද පොදුජන පෙරමුණ වරප්‍රසාද දීල තිබෙන එජාප මන්ත්‍රීවරුන් දැනටත් එජාපයත් එක්ක වැඩ කරනවා යැයිද කැලුම් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *