රෝගී ජීවිත අනතුරේ –හොර බෙහෙත් රටපුරා– මීගමුවේ දී බෙහෙත් තොගයක් අත් අඩංගුවට

රෝගී ජීවිත අනතුරේ –හොර බෙහෙත් රටපුරා– මීගමුවේ දී බෙහෙත් තොගයක් අත් අඩංගුවට

මීගමුව නගරයේ සිදුකළ සෝදිසියේදී බෙදා හැර ඇති මෙරට ලියා පදිංචි නොමැති සිරප් වර්ග සහ අමෙරිකාවේ නිශ්පාදිත ගැබිණි කාන්තාවන් හා ළදරුවන් සදහා ලබා දෙන විටමින් වර්ග තොගයක් මෙලෙස අත් අඩංගුවට

කැලණිය ප්‍රදේශයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉකුත්දා වැටලීමෙන් පසුව එහිදී නිශ්පාදනය කළ ඖෂධ සොයා රට පුරා ෆාමසි පරීක්ෂා කිරීම යටතේ මීගමුව නගරයේ ෆාමසි කිහිපයක තිබී එම නිශ්පාදනය තොගයක් , අත් අඩංගුවට ගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන් විසින් මීගමුව නගරයේ සිදුකළ සෝදිසියේදී එහි ෆාමසිවල තිබී කැලණිය ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කොට බෙදා හැර ඇති මෙරට ලියා පදිංචි නොමැති සිරප් වර්ග සහ අමෙරිකාවේ නිශ්පාදිත ගැබිණි කාන්තාවන් හා ළදරුවන් සදහා ලබා දෙන විටමින් වර්ග තොගයක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

එම මෙරට ලියා පදිංචි නොමැති සිරප් වර්ගය ඉන්දියාවේ නිශ්පාදනය කළ බවට මුද්‍රණය කරන ලද ඇසුරුම්වල යොදා ඇති බවත් අමෙරිකාවේ නිශ්පාදිත ගැබිණි හා ළදරු විටමින් වර්ග කල් ඉකුත්වූ පසුව එම නියම ඇසුරුම් වලට සමානව සකසන ලද ඇසුරුම්වල යොදා කල් ඉකුත්වීමේ දිනයන් වෙනස් කොට වෙළඳ පොලට නිකුත් කොට ඇති බව ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරක් මත එහි නිලධාරීන් විසින් ඉකුත් 9 වෙනි දින කැලණිය දුම්රිය පොල පාරේ ගුරුකුල විද්‍යාලය ඉදිරිපිට සිව් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරය වැටලු අවස්ථාවේ එහි තිබී මෙරට ලියා පදිංචි නොමැති ඖෂධ වර්ග , විවිධ සිරප් වර්ග හා විටමින් වර්ග සහ අධි වේදනා නාශක ඖෂධ වර්ග නිපදවා බෙදා හැරීම සිදු කොට ඇති බව අනාවරණය කරගෙන තිබිණි.

මේ අනුව සොයාගත් බෙදාහැරීමේ ලේඛන පරිදි ෆාමසි සහ ඖෂධ බෙදාහැරීමේ ආයතනවල එම ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන ලද ඖෂධ තිබේදැයි යන්න සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදෙස් මත දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන් විසින් පියවර ගෙන තිබේ.

මීගමුව නගරයේදී අත් අඩංගුවට ගෙන ඇති ඖෂධ තොගය පරීක්ෂාවට ලක් කළ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම තත්ත්වය මත ඖෂධ අලෙවි කරුවන්, ඖෂධ බෙදාහරින්නන් මෙන්ම ඖෂධ මිලදී ගන්නවුන්ද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් වෙළඳ පොලෙන් එම ඖෂධ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

අත් අඩංගුවට ගෙන ඇති ඖෂධ තොගය පරීක්ෂා කිරීම පිනිස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන් වන නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර , ඒ.ජේ.එම්.නියාස් සහ ඩී.එම්.කරුණාරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *