දයාසිරි 19 වන හරියට ව්‍යවස්ථාව කියවා නැහැ // උදය ගම්මන්පිල කියයි

මීළඟට පත්වන ජනාධිපතිට කිසිම බලයක් නොමැති නිසා ජනපතිවරණයට වියදම් කරන මුදල නාස්තියක් බව කවුදෝ නීති විශාරදයෙක් කියා තිබෙනවා. මේක පට්ටපල් බොරුවක්.

අපේ දේශපාලනඥයින් තල් ගෙඩියක් වැටුණාම ලෝකය පෙරලෙනවා කියා බියට පත් වී දිවූ හාවා පසුපස දිවූ සත්තු රෑන වගේ කිසිම වග විභාගයකින් තොරව මාධ්‍ය ඉදිරියට ඇවිත් ඒ මතය යළි යළිත් කියනවා. අවාසනාවට ඒ අතරේ මා මිත්‍ර උගත් නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමාත් ඉන්නවා. ඒ නිසා අනාගත ජනාධිපතිට වත්මන් ජනාධිපතිට වඩා බලතල අඩු වන්නේ කෙසේදැයි පෙන්වීමට මා සමග රූපවාහිනී විවාදයකට එන්න කියා මම දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමාට ඉතාම ගෞරවයෙන් සහ මිත්‍රශීලීව අභියෝග කරනවා. ඇත්තෙන්ම මේක පට්ටපල් බොරුවක්.

ඔය බලතල කප්පාදුව කළ වගන්ති මොනවාද කියා ඇසුවාම ඔන්න කවුරුත් නිරුත්තර වෙනවා. එවැනි වගන්ති ව්‍යවස්ථාවේ නෑ. ඒකයි ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දැක්වීමකින් තොරව තෙර තෝංචියක් නැතිව කියන්නේ. මේ පිළිබදව මුලින්ම ලියපු කෙනාත් බරපතල නීති විශාරදයෙක් බව ඇත්ත. එතුමා වියපත් අපි අතිශ්‍යයින්ම ගරු කරණ පුද්ගලයෙක්.

මා හිතන විදිහට එතුමන් 19 සංශෝධනයේ කෙටුම්පත බලලයි මේ ප්‍රකාශ කරන්නේ. නමුත් ඒ කෙටුම්පත අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කලා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය එහි වූ බලතල සාතිශ්‍යය බහුතරය ජනමත විචාරණයකින් තොරව සිදු කල නොහැකි බවට තීරණය කලා.

සමහරු කියනවා මී ළඟ ජනාධිපතිට තමන් යටතට ගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි කියා. ඒකත් බොරුවක්. ඕනෑම අමාත්‍යාංශයක් තමන් යටතට ගන්න ජනපතිට පුළුවන්. 19 වන සංශෝධනයේ දී කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනපති ධූරය දරණ තෙක් මහවැලි සංර්වධන සහ පරිසර අමාත්‍යාංශය එතුමා යටතේ තිබිය යුතු බව පමණයි. ඒකෙන් කියැවෙන්නේ නෑ ඒ අමාත්‍යාංශය පමණක් තබා ගත හැකි බව. ඔය අපූරුවට නීතිය සහ සාමය අමාත්‍යාංශයත් තමන් යටතට ගත්තේ.

19 සංශෝධනය හරහා ජනාධිපතිට අහිමි වුණේ ප්‍රධාන වශයෙන් බලතල තුනයි. ස්වාධීනව ඇමතිවරුන් පත් කිරීම, වසරකට පසු පාරලිමේන්තුව විසුරුවා හැරීම සහ සෘජුව ජනතාවගේ අනුමැතියෙන් නීතියක් සම්මත කිරීම ඒ බලතල තුනයි.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *