සක්විති රණසිංහට වසර 9 කට පසු ඇප නියමවෙයි

රුපියල් කෝටි 162කට අධික තැන්පත්කරුවන්ගේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම

මෙරට ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවක නිරත හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන චන්දන වීරකුමාර හෙවත්සක්විති රණසිංහ නැමැත්තා මීට වසර 10 පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ රුපියල් කෝටි 162කට අධික තැන්පත්කරුවන්ගේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු තුනක් සම්බන්ධව වසර නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ නැමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

2006 වසරේ නොවැම්බර් මස 01 වනදා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සහ එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 162 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සක්විති රණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර තිබුණි.

වසර 9කට පසු එම චෝදනා සම්බන්ධව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියම කළේය.

එමෙන්ම ඔහුට එරෙහිව පැවති තවත් නඩුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *