දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි—ත්‍රස්තවාදය තුරන් කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍යයි– ඉන්දීය අගමැති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි—ත්‍රස්තවාදය තුරන් කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍යයි– ඉන්දීය අගමැති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීම අවශ්‍ය බව මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති ද්වීපාර්ශවීය හමුවේදී සාකච්ඡා වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන අතර එම හමුවේ දී ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය.

එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී පළමුව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථීක, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී සඳහන් කළේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බව පැවසූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බව කියා සිටියේය.

උපුටා ගැනිම–අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *