දක්ෂිණ අධිවේගේ ලොරි –වෑන් රථ ගැටුමෙන් අයෙක් මරුට

රියදුරුට නින්ද යෑම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම පිවිසුම් දොරටුවට මදක් ඈතින් ඊයේ (18) සවස සිදු වු වෑන්රථ, ලොරිරථ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අට (08) දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට සහ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන්රථයේ රියදුරු ලෙස කටයුතු කල කළුතර, නාගොඩ පදිංචි සමන්ත තුෂාර ප්‍රියදර්ශණ (47) නැමැති අයයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙන බවත් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) අළුයම 1.30 ට පමණ මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් ඇල්පිටිය මූලික රෝහලේත් අනික් හත් (07) දෙනා කළුතර, නාගොඩ රෝහලේත් ප්‍රතිකාර ලබන බව ඇල්පිටිය පොලීසිය කියයි. අනතුරට ලක් වූ වෑන් රථය හා ලොරිරථය දැනට ඇල්පිටිය පොලිසිය භාරයේ තිබේ.

ඊයේ (18) සවස 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිරිසක් වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක පැවති පිංකමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බව ඇල්පිටිය පොලීසිය කියයි. මොවුන් බද්දේගම අධිවේගී පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වී ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේ 58.1 කිලෝ මීටර් කණුව ආසන්නයේදී පිටු පසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන රථයේ වම්පස ඉදිරි රෝදය ජලය බැසයෑම සදහා සකසන ලද කාණුවකට වැටී තිබෙන බවත් නැවත වෑන් රථය මාර්ගයට ගැනීමට උත්සාහ කිරීමේදී පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයි ඇල්පිටිය අධිවේගී පොලිස් මුරපොළේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අම්බලන්තොට, කොන්ගල්ල ප්‍රදේශයේ පිරිසක් අනතුරට ලක් වූ ලොරිරථයෙන් ඥාති ගෙදරක යමින් සිට ඇති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ රියදුරු සමග පස් (05) දෙනෙක් ගමන් කර ඇති අතර ලොරි රථයේ රියදුරු සමග සිව් (04) දෙනෙක් ගමන් කරමින් සිට ඇත. අනතුර සිදු වූ අවස්ථාවේ මෙම 09 දෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවද පොලීසිය කියයි.

ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, උප පොලිස් පරීක්ෂක රෝෂාන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *