දිමුත්ට ලැබුණේ නායකත්වයේ කටු ඔටුන්නද???ලංකාව නායකයන් පත්කිරීමෙන් ලෝක වාර්තාවක්

සංචිතය නිසිපරිදි තෝරා නොගතහොත් ලෝක කුසලානයේ අපි සිටින තැන

අලුත් අවුරුද්දට පවත්වන සංගීත පුටු තරගය මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයින් පත්කිරීමේ ක්‍රියාදාමය අකුරටම ඉටු කරමින් වසර දෙකක් තුල ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නායකයින් වැඩිම ප්‍රමාණයක් පත්කළ රට ලෙස ක්‍රිකට් වාර්තා පොතේ ශ්‍රී ලංකා නාමය ලියවී ඇත ඒ දැවැන්ත ක්‍රිකට් අර්බුධයන් වලට ලක්වූ පකිස්ථානය පවා අභිබවා යාමකි මෙතෙක් කලක් එහි කිරුල දැරුවේ පකිස්ථානයයි මැතිව්ස් ,තරංග,චන්දිමාල්,තිසර ,මාලිංග ගෙන් පසු එහි අලුත්ම නායකත්වයේ හිමිකරුවා දිමුත්ය ඒ ලෝක කුසලානය අත පෙනෙන මානයේ ය.

ලෝකයේ අනෙක් සියලු රටවල් වසර දෙකක් පුරා ස්ථාවර නායකයෙකු යටතේ කණ්ඩායම පවත්වාගෙන යන ලදී.මෑත ඉතිහාසයේ එකදු ජාත්‍යන්තර එක්දින තරගයකට හෝ ක්‍රීඩා නොකළ දිමුත් කරුණාරත්න නායකත්වයට පත්කිරීම කෙතරම් ප්‍රයෝගික පලදායී දෙයක් ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට සිදුවන්නේ ලෝක කුසලාන තරග මාලාවෙන් පසුවය ඒ කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පල්ලම් බැසීම නායකයන් පත්කිරීම තුළින්ම පැහැදිළිය.ස්ථාවර ආරම්භක පිතිකරුවන් ,ඉදිරිපෙළ පිතිකරුවන්,මැදපෙළ පිතිකරුවන්,තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හරියට පුවක් වල්ල පොලවේ ගැසූ ලෙසින් විසිරී ඇත.

මේ සියලු දෙනා එක මිටකට ගෙන නව නායකත්වයට එංගලන්තයේ සීතල තණතිලි මත කළයුතු වැඩකොටස කොතෙක් ද දැන් අත්හදා බැලීමට කාලයක් නොමැත වැඩේට බැසිය යුතුය.වරක් නවසීලන්තයේ පැවති ටෙස් තරගයකදී ලකුණු 150 ඉකමවූ දිමුත් එවර නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරග මාලාවට ආරම්භක පිතිකරුවෙකු වශයෙන් එක්කරවන ලදී එම තරග මාලාව තුල දිමුත් සම්පුර්ණයෙන්ම අසාර්ථක වන ලදී.

මේ සියල්ල දිමුත් නායකයා වීම නිසා කියන කථා නොවෙති දිමුත් නායකත්වයට පත්කිරීමට පෙර දිමුත් ජාත්‍යන්තර එක්දින පිටියට එක්කිරීමට කටයුතු කළයුතුව තිබුණි නිමවූ දකුණු අප්‍රිකානු ටෙස්තරගවලිය සාර්ථකව මෙහෙයවමින් තරග දෙකම ජයග්‍රහණය කරා රැගෙන ගිය දිමුත් අවතක්සේරුවට ලක්කළ නොහැක දිමුත් දක්ෂ පිතිකරුවෙකි එහි කිසිදු වග විභාගයක් නොමැත එසේනම් කළයුතුව තිබුණේ දිමුත්ව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි එක්දින තරග මාලාවට නම් කිරීම නොවේද එසේ වූවානම් දිමුත් ලකුණු අතරට එනු නිසැකය ඒ ඔහු සිටි හොද මානසිකත්වය නිසාය එම තීරණය ගැනීමට මෙරට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් නොවන ලදී.

මේ මොහොතේ දිමුත් නායකත්වයට පත්කිරීම ගැටළුවක් වන්නේ ඒ නිසාය යම් ලෙසකින් අපි ලෝක කුසලානයේ සුපිරි අට වටයට පිවිසීමට අපොහොසත් වුවහොත් දිමුත්ටද පෙර නායකයන්ගේ ඉරණම අත්නොවෙයයි කිව හැක්කේ කාටද?? කෙසේ හෝ හෙට දිනයේ නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය නිසිපරිදි තෝරා නොගතහොත් ලෝක කුසලානයේ අපි සිටින තැන සම්බන්ධයෙන් පුර්විකාවක් නිසැකවම ලබාදිය හැක ඊම සංචිතයේ දසුන් ,අසේල ,ජීවන් මෙන්ඩිස් ,ද කුසල් මෙන්ඩිස් ,දික්වැල්ල,තරංග ද සිටින්නේ කියා මෙරට ක්‍රීඩා ලෝලීන් දෑස දල්වා බලා සිටී.මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අයිති කාටදැයි යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *