ලොවක් හදුනන ආදරවන්තයින්ගේ 114 වන සටනට සියල්ල සුදානම්

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා  ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට

114 වන  ආදරවන්තයින්ගේ සටන මෙවරත් මාර්තු 15 සහ 16 යන දෙදින තුල ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත.   ආදරවන්තයින්ගේ සටන ලෙස ලොවක් හදුනන ගාල්ල මහින්ද රිච්මන්ඞ් විද්‍යාලාන්තර ක්‍රිකට් තරඟය ගාල්ල නගරයට සැලකෙලි සිරි ගෙන්වන්නට සමත් වේ. විද්‍යාලාන්තර තරඟ අතර පැරණිම තරඟයක් ලෙස සටන් වන මෙම දෙවිදුහල් අතර තරඟය නිසාම මේ වන විට ගාල්ල නගරය පුරා විද්‍යාල දෙකෙහි ධජයන් ලෙල දෙමින් ඇති අයුරු දැක ගත හැක. වෙනත් විද්‍යාල වල තරඟයකට සාපේක්ෂව මෙම විද්යාල දෙකෙහි මෙම තරඟය හා බැදුණු සංස්කෘතික වටිනාකමක් ඇත. මාර්තුවේ රස්නය ගාල්ලට දැනෙන්නේ විද්‍යාල දෙකෙහි ෆස්ට් ෆෑලෑග් නිසාය. එකිනෙකාට වෙන්වුන දිනයන් දෙකකදී විද්යාලයීය ධජයට නියම වටිනාකමක් ලබා දෙමින් අදාල විද්යාල වල සිට රථ පෙලපාලියකින් ගාල්ල නගරය වෙත ගෙන එන විද්යාල දෙකේම ධජ ගාල්ල නගරයේ ලෙලදවීමත් සමඟින් ගාල්ල ට බග් මැච් වසන්තය පැමිණ ඇති බව දැනේ.

මීට අමතරව විද්යාල දෙක එකමුතුව පවත්වන රථ පෙලපාලිය, සුහද විවාද තරඟය, විද්යාල දෙක වෙන වෙනම පවත්වන රථ පෙලපාලය මෙහිලා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම මහා තරඟයට පෙර පැවැත්වෙන සුහද විවාදය ඉංග්රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම පැවැත්වෙන අතර එය ඉතාම සිත් ගන්නා සුළුය. මෙවර මහින්ද විද්‍යාලය වෙනුවෙන් සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය  ඉෂාර උපමාද ට    හිමිව ඇති අතර එහි සෙසු සාමාජිකයින් වනුයේ චරිත් ඉදුවර,අකිදු නාරංගොඩ, නවෝද නිර්මාල්,ලෙහාන් නලගමගේ යන අයයි.

ඉංග්රීසි විවාද කණ්ඩායම තරිදු මන්දීර    විසින් මෙහෙයවන අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ දෙවින් බෝපගේ, නවෝද නිර්මාල්,සවීන් එදිරිසිංහ, සන්දිල් දම්සර යන අයයි. දුලසිත් නානායක්කාර රිච්මන්ඩ් විද්යාලයේ සිංහල විවාද කණ්ඩායමට නායකත්වය දෙද්දී , නිසල නුවනිදු,තිසර කාවින්ද, තාරුක තත්සර, චමෝද් දෙව්නිත්  යන අය එහි සාමාජිකයින් ලෙස කටයුතු කරයි.  රිච්මන්ඩ්  ඉංග්රීසි විවාද කණ්ඩායමේ නායකත්වය යසුල යාදිත්ය විසින් හොබවන අතර ලකිදු කාරියවසම්, හිමංසු සහබන්දු, චෙහාන් ජයසුරිය, සෂ්මිත කළුආරච්චි යන අය එහි අනිකුත් සාමාජිකයින්ය.

මෙවර අන්තර් පාසල් ක්රිකට් තරඟාවලිය තුල පලමු කාන්ඩයෙන් තරඟ වදින මෙම කණ්ඩායම් දෙකම අති ප්‍රබල කණ්ඩායම් 02 ක් ලෙස මෙම කණ්ඩායම් දෙකම දිවයිනේ සියළු පාසල් වලට අභියෝගයක් වෙමින් තරඟ වැදී ඇති අතර රිච්මන්ඩ් විද්යාලය පාසල් ක්‍රිකට් දෙදින තරඟාවලියේ අවසන් පාසල් 12 අතරට තේරී පත් වු  අතර මහින්ද විද්‍යාලය ඉන් ඉදිරියට යමින් මේ වන විටත් අවසන් පාසල් 08 අතරට ද තේරී පත් වී මහා ක්රිකට් තරඟයෙන් පසුව පැවැත්වෙන එම තරඟය සදහා ද සුදානමින් සිටී.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා  ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරැඹෙන අතර මෙතෙක් පැවැති තරඟ අතුරින් මහින්ද විද්යාලය තරග 23 ක් ජයග්රහණය කර ඇති අතර  රිච්මන්ඩ් විද්යාලය ද තරඟ 23 ජයග්රහණය කරමින් සම තත්වයේ පසුවෙයි. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත. වර්ෂ දෙකකදී මෙම මහා තරඟය පවත්වා නොමැත. අවසන් වරට මහින්ද විද්යාලය තරඟය ජයග්රහණය කරන ලද්දේ 2008 වසරේ දී ය. රිච්මන්ඩ් විද්යාලය   2015 වර්ෂයේ අවසන් වරට තරඟය ජයග්රහණය කර ඇත.

මෙවර තරඟාවලිය තුල තරඟ 17 කට සහභාගී වී ඇති මහින්ද කණ්ඩායම පුර්ණ ජයග්රහණ හතරක් ලබා ගෙන ඇත්තේ කොළඹ ඉසිපතන, මීගමුව මාරිස්ටෙලා, කොට්ටේ ජනාධිපති,බම්බලපිටිය ශාන්ත පීතර යන විද්යාල වලට එරෙහිවය. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය හමුවේ පරාජයට පත්ව ඇති මහින්ද කණ්ඩායමේ ඉතිරි තරඟ ජයපරාජයෙන් තොරව විසදී ඇත්තේ පලමු ඉනිමේ ජයග්රහණ 09 ක් සමඟිනි.   රිච්මන්ඩ් කණ්ඩායම මෙවර පාසල් තරඟවාරය තුලදී තරඟ 15 ට සහභාගී වී පුර්ණ ජයග්රහණ දෙකක් වාර්තා කර ඇත්තේ මාතර ශාන්ත තෝමස් සහ සර්වේසස් විද්යාලයන්ට එරෙහිවය. ඔවුන්ගේ ඉතකිරි සියළු තරඟ ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

මහින්ද විද්‍යාලය මෙවර තරඟාවලියේ දී මෙහෙය වනු ලබන්නේ  සිව්වන වසර ක්රීඩකයෙකු වන විනුර දුල්සර විසිනි. ඔහු මෙවර ශතක දෙකක් අර්ධ ශතක 04 ක් සමඟින් ලකුණු 800 සීමාව ඉක්මවා ඇත. මෙවර තරඟාවලිය තුල මහින්දයේ උප නායකත්වය අශේන් කන්ඩම්බි ට හිමි ව ඇත.  මහින්දය වෙනුවෙන් පස්වන වසරේ ක්රීඩක හංසික වැලිහිද ලකුණු 900 සීමාව ඉක්මවා ඇති අතර ශ්රී ලංකා අවුරුදු 19 පහල කණ්ඩායම නියෝජනය කිරීම නිසා පාසල් තරඟ අහිමි වු නවෝද් පරණවිතාන ද ලකුණු 450 සීමාව ඉක්මවා ඇත. මහින්ද පිලේ තවත් බාලාපොරොත්තුවක් වන   ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම නියෝජනය කරන ලද නිපුන් මාලිංග ද තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් සිටී. මහින්ද කණ්ඩයමේ වැඩිම කඩුළු ලාභියා වන්නේ කුෂාන් මධුෂ වන අතර ඔහු කඩුළු  64 ක් දවාගෙන ඇත. කවීෂ, කෞෂික මෙන්ම ධනුජ ද ලකුණු අතර සිටීම මහින්දය පැත්තෙන් ශක්තියකි. එසේම පසන් පෙතංගොඩගේ හා සුභානු රාජපක්ෂගේ දඟ පන්දු ගැන ද මහින්දීයන් කතා කරන්නේ ආඩම්බරයෙනි.

රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ තවීෂ අභිෂේක් විසිනි. ඔහු මෙවර තරඟාවලිය තුල ශතක 01 අර්ධ ශතක 03 ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා යමින් රිච්මන්ඩ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත.

රිච්මන්ඞ් විද්යාලයේ උපනායකත්වය දරණු ලබන්නේ ආදිත්ය සිරිවර්ධන විසිනි. ඔහු ද මෙම  තරඟවාරය තුල අර්ධ ශතක 05 ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා ඇත.  වයස අවුරුදු 19 පහල ශ්රීලංකා කණ්ඩායම නියෝජනය කරන දිලුම් සුදීර සහ සදුන් මෙන්ඩිස් මෙවර රිච්මන්ඩ් කණ්ඩායමේ ප්රධාන තුරුම්පු දෙකකි. දිලුම් මේ වන විට කඩුලු 70 ක් සහ ලකුණු 350 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වා ඇත. සදුන් කඩුලු 33 ක් සමඟින් ලකුණු 400 ඉක්මවා ඇත. එසේම විනුජ කිරිඇල්ල, දිමුත් සදරුවන්,ෂම්මු විමුත් සහ අම්ෂි ද සිල්වා ගැන ද මෙවර රිච්මන්ඩ් කණ්ඩායම වැඩි බලාපොරොත්තු දල්වාගෙන ඇත.

මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ගාමිණී ජයවර්ධන මහතා කටයුතු කරන අතර මහින්ද විද්යාලයේ ක්රිකට් භාර ආචාර්යවරයා ලෙස නිශාන්ත කුමාර මහතා ද  පුහුණුකරු ලෙස අනිල් රිදියගම්මනගෙදර සහ සහය පුහුණුකරු ලෙස සුනෙත් කුඩාහෙට්ටි යන මහත්වරුන් ද කටයුතු කරයි.

රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වේරගොඩගේ මහතා කටයුතු කරන අතර එහි ක්රිකට් භාර ආචාර්යවරයා ලෙස එස්.ආර්. නානායක්කාර මහතා කටයුතු කරයි. රිච්මන්ඩ් විද්යාලයේ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශණ මහතා කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස ලක්මාල් ද සිල්වා මහතා කටයුතු කරයි.

අභියෝග ජය ගැනීමට මහින්ද ක්රී ඩකයනුත් අභිමානය රැක ගැනීමට රිච්මන්ඞ් ක්රී ඩකයෝ ද තමන් සතු සියලූ දක්ෂතා සමඟින් මෙම මස 15සහ 16දෙදින ගාල්ල අන්තර් ජාතික ක්රිකට් ක්රීඩාංගණයට පිවිසෙනු ඇත.

රිච්මන්ඩ් විද්යාලයීය කණ්ඩායම,

 තවීෂ අභිෂේක් (නායක), ආදිත්ය සිරිවර්ධන (උප නායක) ,  සදුන් මෙන්ඩිස්, දිලුම් සුදීර, ෂම්මු විමුත්,අම්ෂි ද සිල්වා, විනුජ කිරිඇල්ල,චමත් දිල්හාර,නිම්නාද කිරින්දගේ,දිමුත් සදරුවන්,භානුක මනෝහර,කල්ප නෙත්සර,කිවදු නිර්මාණ, සනුල් සංදීෂ්,අචින්ත ඉෂිවර, ධඹ්මික සුදර්ශණ (පුහුණුකරු),ලක්මාල් ද සිල්වා (සහය පුහුණුකරු), එස්.ආර්. නානායක්කාර( ක්රිකට් භාර ආචාර්ය)

මහින්ද විද්යාලයීය කණ්ඩායම,

විනුර දුල්සර (නායක), අශේන් කණ්ඩම්බි (උප නායක)  හන්සික වැලිහිද, , නවෝද් පරණවිතාන, නිපුන් මාලිංග, පසන් පෙතංගොඩ,  , සුභාණු රාජපක්ෂ, ලහිරු භාෂණ, කෞෂිත කොඩිතුවක්කු,සදෙව් ඉදුවර,කුෂාන් මධුෂ,කවීෂ මල්ලියාවඩු,ඔසිදු කුලරත්න,ධනුජ ඉදුවර,රන්මිණ හෙට්ටිආරච්චි,අශේන් ශාමික, අනිල් රිදියගම්මනගෙදර (පුහුණුකරු),සුනෙත් කුඩාහෙට්ටි(සහය පුහුණුකරු) වයි.නිශාන්ත කුමාර (ක්රිකට් භාර ආචාර්ය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *