විපක්ෂනායක දූරය දේශ­පා­ලන සම­තු­ලි­ත­භා­ව­යට හා සංහි­ඳි­යා­වට හේතු­වක් විය යුතුයි

සුළු ජාතීන්ගේ නියෝ­ජ­නයට ඉඩක් දීමට හැකිනම් ගැටළු විසදීමේ මගක්

පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂ­නා­යක හැටි­යට මහින්ද රාජ­පක්ෂ මහතා නම්කර ඇතත්; එම පත්වීම පැති කිහි­ප­ය­කින් අභි­යෝ­ග­යට ලක් වී ඇත. පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය, ව්‍යව­ස්ථාවේ ප්‍රති­පා­දන, කථා­නා­ය­ක­ව­ර­යාගේ නිර්දේශ, හිටපු විප­ක්ෂ­නා­ය­ක­ව­ර­යාගේ ප්‍රකාශ පම­ණක් නොව; ඒ ඒ පක්ෂ විසින් ගොඩ­න­ඟනු ලබන තර්ක ආදිය ද ඉහත අභි­යෝ­ග­යට පද­නම ලෙස පවතී. ඒ හැරෙ­න්නට හිටපු විප­ක්ෂ­නා­යක ආර්. සම්බ­න්ධන් මහතා නිල වශ­යෙන් ඉවත් කිරී­මක් සිදු­කර නැත. බැලූ බැල්මට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලි­මේ­න්තු­වට විප­ක්ෂ­නා­ය­ක­ව­රුන් දෙදෙ­නකු ඇති බවකි. එය නොසි­දු­විය යුත්තකි.

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පක්ෂ මාරු­කි­රීමේ අවුල ද මීට ගැට ගැසී ඇත. ඒ මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­යෙකි. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ අනු­ශා­ස­ක­යෙකි. ඒ හැරෙ­න්නට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙහි සාමා­ජි­ක­ත්වය ලබා සිටින රාජ­පක්ෂ මහතා එහි නාය­කයා ලෙස ද පෙනී සිටී. එහෙ­යින් මහින්ද මහතා තනි පක්ෂ­යක් නියෝ­ජ­නය කරන දේශ­පා­ල­ක­යකු හෝ මහ­ජන නියෝ­ජි­ත­යකු ලෙස හෝ හැඳි­න්විය නොහැ­කිය. මේ තත්ත්වය යටතේ ඔහුගේ දේශ­පා­ලන අන­න්‍ය­තාව සෙවීම දුෂ්කර වී ඇත. පක්ෂ මාරු කිරීම හා පාර්ලි­මේ­න්තුවේ පදවි තන­තුරු දැරී­මට අදාළ නීතිය හා සම්ප්‍ර­දාය දෙස බලන විට මහින්ද මහ­තාගේ මන්ත්‍රී පද­විය පවා අභි­යෝ­ග­යට ලක්වන බවක් ද පෙනෙ­න්නට තිබේ.

පාර්ලි­මේ­න්තුවේ පිළි­ගත් සම්ප්‍ර­දා­යට අනුව විප­ක්ෂ­නා­යක ධූරය හිමි වන්නේ ආණ්ඩු පක්ෂය හැර වැඩිම ආසන ගණ­නක් සහිත ප්‍රධාන පක්ෂ­යක නාය­ක­යා­ටය. ඒ අනුව ගිය ආණ්ඩුවේ බහු­තර ආසන ගණ­නක් සහිත තනි පක්ෂය දෙමළ ජාතික සන්ධා­නය විය. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ආණ්ඩුව සමඟ එකතු වූ අතර එහි මන්ත්‍රී­වරු කොට­සක් පොහො­ට්ටුව හෙවත් ඒකා­බද්ධ විප­ක්ෂය පිහි­ටුවා ගත්හ. පොහො­ට්ටුව, දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ලියා­ප­දිංචි වූයේද, වර්ධ­නය වූයේද පසු­වය. දැන් එය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලෙස හැඳින්වේ. බැලූ බැල්මට ම පෙනී යන්නේ ප්‍රධාන පක්ෂ කොට­ස්ව­ලට කැඩී වෙනම න්‍යාය පත්‍ර යටතේ ක්‍රියා­ත්මක වීම නිසා බොහෝ අවුල් ඇති වන බවය.

කථා­නා­ය­ක­ව­රයා මහින්ද රාජ­පක්ෂ මහතා විප­ක්ෂ­නා­යක ලෙස නම් කර­න්නට ඇත්තේ කරුණු දෙකක් නිසා යැයි සිත­න්නට පුළු­වන එක; දැනට පාර්ලි­මේ­න්තුව තුළ සිටින එක මතය දරන වැඩිම ආසන ගණ­නක් මහින්ද රාජ­පක්ෂ පිලට හිමි වී තිබී­මය. දෙක; ඒ පිළි­බඳ කරුණු දක්වා එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය කථා­නා­ය­ක­ව­රයා වෙත ලිඛිත ඉල්ලී­මක් සිදු­කර තිබී­මය. ඒ අනුව කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ගත් තීර­ණය නිවැ­රැදි යැයි තර්ක­යක් ගොඩ­නැ­ගිය හැකිය.

මේ සන්ද­ර්භය තුළ ගොඩ­නැ‍‍ඟෙන තවත් වැද­ගත් තර්ක­යක් තිබේ. එනම්; ජනා­ධි­ප­ති­ව­රයා නියෝ­ජ­නය කරනු ලබන පක්ෂ­යක සාමා­ජි­ක­යකු හෝ තවත් නාය­ක­යකු හෝ විප­ක්ෂ­නා­යක ධූරය දැරීම කෙත­රම් යුක්ති සහ­ග­තද යන්නය. කැබි­නට් මණ්ඩ­ලය පත්ක­රන හා එය හසු­ර­වන ප්‍රධා­නියා ජනා­ධි­ප­ති­ව­ර­යාය. රාජ්‍යයේ නාය­කයා ලෙස නම් කර ඇත්තේ ද ජනා­ධි­ප­ති­ව­රයා ය. ඔහුගේ නියෝ­ජි­ත­යකු විප­ක්ෂ­නා­යක ධූර­යට පත් කිරී­මෙන් ආණ්ඩු­ක­ර­ණට අවශ්‍ය ව්‍යුහා­ත්මක සම­තු­ලි­ත­භා­වය ඇති කළ හැකිද? විප­ක්ෂය පැවැ­තිය යුත්තේ ආණ්ඩු පක්ෂය විවේ­ච­නය කරන හා ඔවුන් නිවැ­රැදි කරන තැන­කය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ තීන්දු­ව­ලට පවා එරෙහි වීමේ අවස්ථා විප­ක්ෂය සතුය. එහෙත් එකම දේශ­පා­ලන ධාරා­වක විප­ක්ෂය හා ආණ්ඩුව ගමන් කරන්නේ නම්; එතැන වැරැ­ද්දක් තිබිය යුතුය.

මීට ප්‍රති-තර්ක ඉදි­රි­පත් වන බවක් ද පෙනෙයි. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ පාලන සමය තුළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැති පද­විය දැරූ ආණ්ඩු­වක් පැව­තිණි. එහිදී විප­ක්ෂ­නා­යක පද­විය දැරුවේ මහින්ද රාජ­පක්ෂ මහතා ය. අදට වඩා වෙනස් ස්වරූ­ප­යක දේශ­පා­ලන තත්ත්ව­යක් එදා පැවැ­තිය ද සිදුවී ඇත්තේ අද පව­තින තත්ත්වය ම යැයි කිය­න්නට පුළු­වන. එම තර්ක­යට අනුව ගත­හොත් විප­ක්ෂ­නා­යක ධුරය දැරී­මට හොඳ ම පුද්ග­ල­යකු ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා හැඳි­න්විය හැකි ය. ඔහුට ඒ සඳහා පළ­පු­රු­ද්දක් තිබේ. එයත් වාසි­යකි. කොයි අතින් බැලුව ද මෙය සාකච්ඡා මාර්ග­යෙන් විස­ඳා­ගත යුතු ගැට­ලු­වකි.‍

දෙමළ ජාතික සන්ධා­නයේ නාය­කයා වන ආර්. සම්බ­න්දන් මහතා විප­ක්ෂ­නා­යක ධුර­යෙන් ඉව­ත්කි­රීම ද ප්‍රශ්න­කාරී ය. බහු වාර්ගික රාජ්‍ය­යක පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂ­නා­යක ධුරය සුළු ජාතීන්ගේ නියෝ­ජ­නය සඳහා වෙන් කිරීම දේශ­පා­ලන සම­තු­ලි­ත­භා­ව­යට හා සංහි­ඳි­යා­වට හේතු­වක් ලෙස දැකිය හැකි ය. ඉති­හා­සයේ අමි­ර්ත­ලිං­ගම් මහතා විප­ක්ෂ­නා­යක ධුරය දැරූ කාල­යක් පැවැති අතර එම කාලය තුළ සුළු ජාතීන්ගේ ගැටලු සම්බ­න්ධ­යෙන් ප්‍රබල සංවා­ද­යක් ද තිබිණි. අමි­ර්ත­ලිං­ගම් මහතා විප­ක්ෂ­නා­යක ධුර­යෙන් ඉව­ත්වී­මත් සමඟ උතුරේ ප්‍රශ්න පිළි­බඳ සංවා­දය මන්ද­ගාමී වූ බවක් දකි­න්නට පුළු­වන.‍

දෙමළ තරු­ණ­යන්ගේ සන්නද්ධ අර­ග­ලය මුහු­කුරා යාමට මෙබඳු හේතු සාධ­කද බල­පෑවා වන්නට පුළු­වන. සුළු ජන නියෝ­ජ­න­යක් සහිත විප­ක්ෂ­නා­යක ධුර­යක වැද­ග­ත්කම එයින් සනාථ වෙයි.

කුමන තත්ත්ව­යක් යටතේ වුව ශක්ති­මත් විප­ක්ෂ­යක් සේ ම බුද්ධි­මත් විප­ක්ෂ­නා­ය­ක­ව­ර­යකු අපට අවශ්‍ය වේ. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍ය ක්‍රම­යක් තුළ ආණ්ඩු පක්ෂය තර­මට ම විප­ක්ෂය ද වැද­ගත් වෙයි. පාර්ලි­මේ­න්තුව සම­තු­ල­නය වූ දේශ­පා­ලන ව්‍යුහ­ය­කින් සම­න්විත වන්නේද එවි­ටය. ආණ්ඩු පක්ෂය ඕනෑ­වට වඩා ශක්ති­මත් වූ විට එය ඒකා­ධි­පති විය හැකිය. හිතු­ව­ක්කාරී තීන්දු­ව­ලට යා හැකිය. එය තුල­නය කළ හැක්කේ විරුද්ධ පක්ෂ­යට පමණි. කොටින්ම ආණ්ඩුව නිවැ­රැදි කිරීම සඳහා බල­වත් විප­ක්ෂ­යක් පැවැ­තිය යුතුය. ඒ සඳහා මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩා­යම නරක යැයි කිව නොහැ­කිය. තෝරා බේරා ගත යුත්තේ මෙහි නෛතික හා සදා­චා­රා­ත්මක පාර්ශ්ව­යන්ය.

මේ අවුල විසැ­ඳීම සඳහා නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට කමි­ටු­වක් පත් කළ යුතු යැයි යෝජ­නා­වක්ද ඉදි­රි­පත් වී ඇත. එම යෝජ­නාව ඉතා ඉක්ම­නින් ක්‍රියා­වට නැංවිය හැකි නම්; ඒ මගින් ගැට­ලු­වට විසැ­ඳු­මක් ලැබෙ­න්නට පුළු­වන. එසේ නැත­හොත්; කථා­නා­ය­ක­ව­ර­යාගේ තීන්දුව අව­සන් තීන්දුව ලෙස භාර­ගත යුතුය. පාර්ලි­මේ­න්තුව කිසි­යම් අර්බු­ද­යක් නිමා­වට පත්කොට යථා තත්ත්ව­යට පැමිණ සිටින මේ මොහොතේ නැවත අවු­ලක් ඇති­වීම අවා­ස­නා­වකි. මේ අවුල හැකි විගස විස­ඳා­ගැ­නී­මට පිය­වර ගත යුතුය.

dinamina>>>>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *