ජනතා මතයට හිස නමලා ආණ්ඩුව දැන් ගෙදර යා යුතුයි – උදය ගම්මන්පිල

ජනතා මතයට හිස නමලා ආණ්ඩුව දැන් ගෙදර යා යුතුයි – උදය ගම්මන්පිල

* ජන බලය කොළඹට කියා සැප්තැම්බර් 05 ජනතාව කොළඹට ගෙනවිත් සැප්තැම්බර් 06 ආණ්ඩු බලය ඇල්ලීමට සූදානම් වූ ඒකාබද්ධය අල්ලපු ආණ්ඩුවක් නැහැ කියායි ආණ්ඩුවේ චෝදනාව?

පැරැණි කියමනක් තියෙනවා ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා. අපට ඒක වෙනස් කරන්න වෙනවා. ලැජ්ජා නැතිකම අගමැතිකමටත් වඩා ලොකුයි කියා. ලෝකයේ අනෙක් රටවල අගමැතිවරයාට විරුද්ධව ජනතා උද්ඝෝෂණ හමුවේ ඒ රටවල අගමැතිවරු ඉල්ලා අස්වුණා. බි්‍රතාන්‍ය, ලිතුවේනියාවේ, එතෝනියාවේ, දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරු, අගමැතිවරු ජනතා විරෝධය හමුවේ ඉවත් වුණා. ආණ්ඩුව විශ්වාස කරන විදියට ජනතාව ඉන්නේ ආණ්ඩුව සමඟ නම් ඒ බව පෙන්වන්න නියමිත මැතිවරණ නියමිත කාලයට පැවැත්විය යුතුයි. එසේ නැත්නම් මේ ජනතා විරෝධයට සවන් දීලා ගෙදර යා යුතුයි.

* ඊයේ ජනතා විරෝධය තිබුණාට ඒක ආණ්ඩුවට දැනුණේ නැහැ කියලායි ඇමැතිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ. ආණ්ඩුවට නොදැනුණු විරෝධයකට ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යෑම හරිද?

ආණ්ඩුවට ගහලා එළවන්න බැහැ. මේ තරම් ජනතා විරෝධය දැක්කම ලෝකය පුරා නායකයෝ කරන්නේ ජනතා මතයට හිස නමලා ගෙදර යන එකයි. ඒ නිසා ආණ්ඩුවත් ජනතා මතයට හිස නමලා ගෙදර යායුතුයි.

* 05 වැනිදා විරෝධය පාලා 6 වැනිදා ආණ්ඩු බලය ගන්නවා කිව්වා. 06 වැනිදා උදේ මහින්ද මහත්තයා අගමැති වෙයි කියලා හිතාගෙනයි ජනතාව කොළඹට ආවේ. එහෙමයි ආණ්ඩුව ඒකාබද්ධය විවේචනය කරන්නේ?

ආණ්ඩුව එහෙම කිව්වට අපි එහෙම කිව්වේ නැහැ.

*කොළඹ වට කරලා ආණ්ඩුව පෙරළන්නනේ ආවේ?

අපි කිව්වේ කොළඹ වටලනවා කියලා. අපි කොළඹ වැටලුවේ නැද්ද? සියලුම කාර්යාල කලින් වැසුවා. පාසල් කලින් වැසුවා. පාසල්වල ගුරුවරු සහ ශිෂ්‍යයෝ නැහැ කියලා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වාර්තා කළා. ජනාධිපතිවරයා, අගමැතිවරයා කොළඹින් අතුරුදන් වුණා. අපට මරණීය තර්ජන එල්ල කරපු මංගල සමරවීර සිංගප්පූරුවට පැන ගත්තා. එතුමා සුප්‍රසිද්ධ කුරුඳු පොලුවලින් උද්ඝෝෂකයන්ට පහර දෙන්න. එතුමා සිංගප්පූරුවට පැන ගත්තේ රොකට් ලෝන්චර් හරහා කුරුඳු පොලුවලින් පහරදීමටද අපි දන්නේ නැහැ. කිසිම ඇමැතිවරයෙක් මහජන දිනය තිබ්බට අමාත්‍යාංශවලට ගිහින් නැහැ. අපි කොළඹ නගරයම අක්‍රිය කළා. අපි කිව්ව විදියට කොළඹ වටකරලා උද්ඝෝෂණය කළා.

* ඔබතුමන්ලා ආවේ ඔබතුමන්ලාට ආණ්ඩුව පහර දෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ආණ්ඩුව මේ උද්ඝෝෂණය ගණන් අරගෙන නැහැ කියන කාරණාව ඉන් ඔප්පු වෙනවානේ?

අපි ලංකා ඉතිහාසයේ සුවිශේෂීම උද්ඝෝෂණය ඊයේ කළේ. එක පැත්තකින් දවල් 12ට ආරම්භ වෙලා රාත්‍රි 12 වෙනකම් පවත්වාගෙන ගිය ලංකා ඉතිහාසයේ දිගම උද්ඝෝෂණය. අනෙක් පැත්තෙන් කිලෝමීටර් තුනකට වඩා දිග පෙළපාළි හයකින් ලේක් හවුස් වරවුමට පැමිණි ලංකා ඉතිහාසයේ දැවැන්තම උද්ඝෝෂණය. අනෙක් පැත්තෙන් එක දවසක ආරම්භ කොට තවත් දවසකින් අවසන් කළ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැති උද්ඝෝෂණය, රැයක් පහන් කළ උද්ඝෝෂණය. මෙය ඉතිහාසයට එකතුවී හමාරයි. එය පිළිගැනීමට ආණ්ඩුවේ ඇති අකැමැත්තෙන්ම ඔවුන්ගේ පරාජය පේනවා.

* වාර්තා තියලා ඉතිහාසයට එකතු වෙන්නද මේ උද්ඝෝෂණය කළේ?

නැහැ, ආණ්ඩුව ගෙදර යවන ක්‍රියාදාමය තමයි ඉන් ඔප්පු කළේ.

* උද්ඝෝෂණයක් පැවැති පමණින්ම ආණ්ඩුව ගෙදර යන්නේ නෑනේ?

ඒක තමයි ලෝක සම්ප්‍රදාය. මැතිවරණයක් නොපවත්වන ආණ්ඩුවක් එළවිය හැකි එකම ක්‍රමය ජනතා විරෝධයෙන් පමණයි. ජනතා විරෝධයට ඔවුන් සවන් දෙන්නේ නැත්නම් මේ සටන දිගටම ගෙනියනවා.

* විරෝධයකින් ආණ්ඩු පෙරළන්න බැහැ. ඒකට මැතිවරණයක් අවශ්‍යයි?

ඒක හරි. නමුත් මේ ආණ්ඩුව 2015 මාර්තු මාසයේ පැවැත්විය යුතු පුංචි ඡන්දය 2018 පෙබරවාරිවල තමයි පැවැත්තුවේ. ඡන්දය අවුරුදු තුනක් කල් දැම්මා. පළාත් සභා මැතිවරණ වසරක් පමණ කල් දමා තියෙනවා. මැතිවරණ නොපවත්වන රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරළීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා ජනතාව තෝරා ගන්නේ උද්ඝෝෂණ. එවැනි අවස්ථාවක ජනතාව උද්ඝෝෂණවල සැර එන්න එන්නම තීව්‍ර කරනවා. මීට කලින් ලංකා ඉතිහාසයේ පවත්වපු ලොකු රැලිය තමයි 2017 මැයි 01 වැනිදා අපි විසින් ගාලු මුව‍ෙදාර පවත්වපු රැලිය. එදා පැමිණි සෙනඟ වගේ දෙතුන් ගුණයක් සැප්තැම්බර් 5 කොළඹට පැමිණියා. ඒ ගැන මාධ්‍ය නිවැරැදිව වාර්තා කර තිබෙනවා. එවැනි ජන ගඟක් කොළඹට පැමිණ ආණ්ඩුවට ‘පලයව්’ කියද්දී ආණ්ඩුව නොයනවා නම් ජනතාව මීට වඩා ප්‍රබලව ප්‍රතිචාර දක්වන්න ඉඩ තිබෙනවා. අර කතාවක් තිබෙනවා බීරි අලින්ට වීණා වයනවා වගේ කියලා. අද රට පාලනය කරන්නේ අලි. ඒ අය බීරිද නැද්ද කියන එක ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධය එක්කම පේනවා.

* මේ විරෝධයට හරි සැලසුමක් තිබුණේ නැහැ. හතර වටින් ආපු ජනතාව අතරමං වුණා. ඒකෙන්ම ‘ජන බලය’ විරෝධයේ අසාර්ථකත්වය පේනවා කියායි මත පළ වෙන්නේ?

හතර වටින්ම ජනතාව ආවා. ඒ ආපු ජනතාව කොළඹට ඇවිත් පෙළපාළි හයකින් ලේක් හවුස් වටරවුමට ආවා. කොළඹට ආපු ජන ගඟ ආණ්ඩුවේ නොවන ප්‍රවෘත්තිවල හරියට වාර්තා වුණා. ජන බලය උද්ඝෝෂණයට විරුද්ධව පොලිසිය උසාවි නියෝග ගන්න හැදුවා. වැඩේ හරි ගියේ නැහැ. ඒක නිසායි ලේක් හවුස් වටරවුම ගැන මුලින්ම නොකිව්වේ. අපි ඒක කියලා තිබුණා නම් පූජිතගේ පොලිසිය උසාවි නියෝගයක් අරගෙන අපට තහංචි දානවා.

* ලේක් හවුස් වටරවුම 5000ක් දැම්මත් පාර පිරෙනවා කියා නලින් බණ්ඩාර නියෝජ්‍ය අමැතිතුමා කියනවා. ඔබ කියනවා ජන ගඟක් ආවාලු. කවුද ඇත්ත කියන්නේ?

උද්ඝෝෂණයට ආපු අය තමයි ඊට පසුවදා පුවත්පත්වල වාර්තා වෙලා තිබුණේ. රාජ්‍ය නොවන පුවත්පත් සියල්ලම කියන්නේ එකම කතාව. ඒ වගේම ආණ්ඩුවේ නොවන රූපවාහිනි චැනලවල පෙන්නූ ඡායාරූප බලන්න. මීට කලින් කොළඹ නගරයේ සිටියද කියා. එතැන සිටියේ 5,000 දැයි ගණන් කර බැලීමෙන් පේනවා. විශේෂයෙන්ම පොලිසියේ නිල වාර්තා අනුව බස් 2800ක් කොළඹ නගරයට ඇතුළුවී තිබෙනවා. මේ බස් එකක 50ක් ආවොත් 1,40,000කට වඩා සෙනඟ බස්වලින් පමණක් පැමිණ තිබෙනවා. මේවා මගේ ඉලක්කම් නෙවෙයි. පූජිතගේ පොලිසියේ ඉලක්කම්. පූජිතගේ පොලිසිය කියන්නේ අපට සතුරු ආයතනයක් විදියටයි අපි හඳුනාගෙන තිබෙන්නේ. අපට ඕන වුණේ රටේ මූල්‍යමය කේන්ද්‍රස්ථානය අත්පත් කර ගැනීම තමයි අපේ අරමුණ. ඒක අපි කළා. එතැනට ජනතාව ආවේ ස්ථාන හයක ඉඳන්. එහෙම නැත්නම් පූජිතගේ පොලිසිය උසාවි ගිහින් තහනම් නියෝග ගන්නවා. අපි අපේ තැන කලින්ම යොදාගෙන සිටියා. අපි ඒ තැන කලින් නොකියා ආණ්ඩුවේ උපාය මාර්ග පරාජය කළා.

* බත් පැකට් එකටයි රුපියල් 1000ටයි අරක්කු භාගෙටයි ජනතාව ගෙන ආවා කියා චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල වෙනවා.?

පට්ට පල් බොරු. මේ ජනතාව ආවේ මහින්ද මහත්තයා වෙනුවෙන්. මේ රටේ ආර්ථිකය ගොඩනඟලා, යුද්ධය නිම කරපු නායකයා වෙනුවෙන්. මේ රටේ ජනතාවගේ නායකයා තවමත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා විතරයි.

*ආණ්ඩුව කිසිම උපාය මාර්ගයක් ගෙන තිබුණේ නැහැ කියා කියද්දී ඔබ කියනවා උපාය මාර්ගවලින් උද්ඝෝෂණය නවත්වන්න හැදුවා කියා?

ආණ්ඩුව නොයෙක් උපාය මාර්ග ගත්තා. ඒ හැම තැනම පරාදයි. ජනතාව නතර කරන්න උත්සාහ කළා. බිය වද්දලා නතර කරන්න හැදුවා. කුරුඳු පොලු වීරයා පහර දෙනවා කියලා තර්ජනය කළා ඒක අසාර්ථකයි. පෞද්ගලික බස් රථවල බලපත්‍ර තහනම් කරනවා කිව්වා. මහාමාර්ගවල වළවල් කැපුවා. මේ බාධක නොතකා ජනතාව ආවා. පෞද්ගලික බස්රථ හිමියන් ආණ්ඩුවේ විරෝධය නොතකා බස් දුන්නා. ඔවුන් පිළිගත්තේ වත්මන් ආණ්ඩුවේ කීම නොව අපේ කීම බව ඔප්පු කළා. ඒ වාගේම පහර දුන්නා. ලබාදුන්න පිට්ටනි හයම අවලංගු කළා. තහනම් නියෝග ගන්න හැදුවා. ඒවායින්ම පෙනෙනවා ආණ්ඩුව මේ උද්ඝෝෂණය නිසා බියට පත්වෙලා කියලා. මේ රටේ ජනතාව ආණ්ඩුව පෙරළන්න කොළඹ වටලන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ආරාධනා කළාම යන්නේ කොතනටද කියලා දන්නේ නැතිව, කොච්චර කල් ඉන්න වෙනවද කියලා දන්නේ නැතිව, කුමක්ද කරන්නේ කියා දන්නේ නැතිව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාරට බැස්සා මහින්ද රාජපක්ෂ කියන වචන දෙක විශ්වාස කරලා. එනිසා මේ අවදානම ආණ්ඩුව තේරුම්ගත යුතුයි.

මේ ජන ගඟ අරගෙන අරලියගහ මන්දිරයට යන්න ජනාධිපති මන්දිරයට යන්න නේද උත්සාහය තිබ්බේ?

නැහැ. මහින්ද මහත්තයා කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මේ ජන ගඟ අරගෙන අරලියගහ මන්දිරයට ජනාධිපති මන්දිරයට යනවා කියලා. හැබැයි එතුමා ආණ්ඩුවට පණිවුඩයක් දුන්නා. ඒ එතුමා කතා කරන ඕනෑම මොහොතක මේ තැන් වටලන්න ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉන්නවා කියලා. හැබැයි ආණ්ඩුව තවදුරටත් මැතිවරණ කල්දානවා නම්, රට විකුණනවා නම්, රට පාවා දෙනවා නම් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව බර අවියක් තිබෙනවා මේ ආණ්ඩුවට පහර දෙන්න. ඒ අවියේ දිග පළල දැක්ක නිසා ආණ්ඩුව හික්මීමෙන් කටයුතු කරයි කියා අපි හිතනවා. එහෙම නැත්නම් මැතිවරණ පවත්වලා ජනතාව ඉල්ලන නායකයාට පත්වෙන්න ඉඩ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඔබලාගේ උද්ඝෝෂණයට ආණ්ඩු පාර්ශ්වය පහර දෙයි කියලා ඔබලා හිතුවා. නමුත් ආණ්ඩුව වැඩේ කරගෙන යන්න ඉඩදුන්නා. ජනතාවට අපහසුතාවක් වුණේ නැහැ, කලින් කන්තෝරු වැහුවා. එහෙම නම් වැඩේ අසාර්ථකයි නේද?

ආණ්ඩුව ගහන්න සූදානමක් නොතිබුණා නම් 8000ක පොලිස් හමුදාවක් කොළඹට ගෙන ආවේ ඇයි? මාර්ග බාධක හැමතැනම දැම්මේ ඇයි. කඳුළු ගෑස් ජල ප්‍රහාරක වාහන කොළඹට ගෙන ආවේ ඇයි. ඒකයි අපට තියෙන ප්‍රශ්නය.

උද්ඝෝෂණයට ආපු අය රාජ්‍ය දේපොළවලට හානි කරයි කියා වෙන්න බැරිද?

වෙනදා වැරැදි කරලා නෙවෙයි ශිෂ්‍යයන් නතර කළේ. ශිෂ්‍ය පෙළපාළිවල ඉන්නේ 7000 – 8000යි. හැබැයි ලක්ෂ 2ක ජනතාවකට පහර දෙන්න සමස්ත පොලිස් හමුදාව ඉන්නේ 80,000යි. රටේම පොලිසි හිස් කරලා මුළු 80,000ම කොළඹට ගෙන ආවත් මේ ජනගඟ පාලනය කරන්න බැහැ. ලෝකය තුළත් අපි මේවා දැක්කා. මේවා රාජිතලා, චම්පිකලා දැකලා ඇතිනේ. මේ බය නිසා තමයි ජනතාව බය කළේ. බස් රථවල බලපත්‍ර අවලංගු කරනවා කිව්වේ. ඉතින් මේ උද්ඝෝෂණයට සෙනඟ එන්නේ නැහැ, එන සෙනඟට ගහන්න තමයි කුලු පොලු හමුදාව ගෙනාවේ. නමුත් ලක්ෂ සංඛ්‍යාත සෙනඟ දැක්කට පස්සේ පොලිසිය ගැහුවේ නැහැ. පොලිසිය අපට ගහන්න උත්සාහ කළා නම් පොලිසියත් ගුටි කාලා ආණ්ඩුවත් ගුටිකාලා තමයි වැඩේ නවතින්නේ.

මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුව පෙරළුණේ නැහැ කියා අජිත් පී. පෙරේරා ඇමැතිතුමා කියනවා. ඒ වගේම උද්ඝෝෂණයෙන් සිදු වුණේ ශ්‍රීලනිප කාර්යාලයට හූ කියපු එක විතරයි කියාත් ආණ්ඩු පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙනවා. ඇත්තටම මේ වැඩෙන් හූ කියපු එක විතරද කර ගත්තේ?

කවදද අජිත් පී. පෙරේරා ඇත්ත කිව්වේ. අජිත් පී. පෙරේරලා තමයි ඇලෝසියස්ලා සමඟ දුරකථනයෙන් මුකුළු කරමින් බැඳුම්කර වංචාවක් සිදුනොවුණු බවට කෝප් කමිටුව තුළත් මාධ්‍ය ඉදිරියෙත් තර්ක කළේ. අගමැතිවරයාම 5 වැනිදා පාර්මේන්තුවේදී පිළිගත්තා බැඳුම්කර වංචාවක් සිදුවෙලා, ඒ අයට විරුද්ධව නඩු දානවා කියා. ඔය අජිත් පී. පෙරේරා තමයි ගෝල්ෆේස් පිට්ටනිය පුරවන්න බැහැ කියලා වහසි බස් දෙඩෙව්වේ. පුංචි ඡන්දයෙන් එජාපය ඓතිහාසික ජයක් ලබනවා කියා කිව්වෙත් අජිත් පී. පෙරේරා තමයි. අජිත් පී. පෙරේරා අපේ උද්ඝෝෂණය අසාර්ථකයි කියනවා නම් ඒකෙන්ම පැහැදිලියි මේක සාර්ථකයි කියලා. අජිත් පී. පෙරේරා කියන එකේදි අනෙක් පැත්ත තමයි හැමදාම ඇත්ත වෙලා තියෙන්නේ.

6 වැනිදා උදේ වනතුරු ඉන්නවා කියලා 12.30 වෙද්දි උද්ඝෝෂණය ඉවර කළේ ඇයි?

අපේ අදහසක් තිබුණේ නැහැ එළිවෙනකම් ඉන්න. එළිවෙනකම් හිටියොත් අපට ආණ්ඩුව භාර දෙන්න ඕන. අපි කිව්වේ රැය පහන් වනතුරු කියලා. රාත්‍රි 12න් පස්සේ ඊළඟ දවස උදාවෙනවා. 12.01ට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා ස්තුති කතාව කරලා විරෝධතාව අවසන් කළා. ඇත්තටම අපට ඕන වුණේ අපේ හැකියාව උරගා බලන්න. පැය 24ක උද්ඝෝෂණයක් එක පාරම කරන්න බැහැ. අපි යටිතල පහසුකම් හදා ගන්න ඕන. ජලය, වැසිකිළි, ආහාර, නවාතැන් මේ හැම දේම දෙන්න ඕන, ඔවුන් සමඟ නිරන්තරයෙන් කතා කරන්න ඕන, ඒ අය සතුටු කරන්න ඕන. ඒ නිසා අපි 05 වැනිදා කළේ හොඳ පරීක්ෂණයක්. වැඩේ සාර්ථකයි. ඊට පස්සේ දිගු ඒවාට යන්න පුළුවන්.

තොවිල් නැටුවා, අංගම්පොර සටන් පෙන්නුවා, පන්දම් පාලි පෙන්නුවා, අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැති වුණා වගේ වැඩක් නේද වුණේ?

මීට කලින් නුවර ඉඳන් කොළඹට පා ගමනින් ආවා. රට හම්බවුණාද ඇහුවා. ඔය විදියටමයි ඇහුවේ. උද්ඝෝෂණවල පා ගමන්වල ප්‍රතිඵල අපි නෙළා ගත්තා. පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලැබුවා.

පෙබරවාරි 10 ජය අද උරගා බලද්දී පසු බැහැලා නේද?

කිසිසේත්ම නැහැ. 2017 මැයි මාසයට වඩා කොළඹට වැඩි ජනතාවක් පැමිණීමෙන් පෙනෙන්නේ ආණ්ඩු විරෝධය උපරිමස්ථානයකට ඇවිත් කියලයි. පසුබෑමක් පේන්න නම් මැතිවරණයක් තියලා බලන්න ඕන. ආණ්ඩුව එහෙම හිතනවා නම් කල්දාන්නේ නැතිව මැතිවරණ තියන්න කියලයි අපි කියන්නේ. මොකද අද අපි පෙබරවාරි 10ටත් වඩා ශක්තිමත්.

බෙංගමුවේ නාලක හාමුදුරුවොත් කියලා තිබුණා මේ වෙලාවේ උද්ඝෝෂණ එපා ඒකාබද්ධයයි අමාරුවේ වැටෙන්නේ කියලා. ඇයි ඒ මතවලට කන් නොදුන්නේ?

සාමාන්‍යයෙන් සියට සියයකගේ එකඟතාවෙන් කිසිම දෙයක් කිසිම දවසක තියලා නැහැ.

පක්ෂ නායක රැස්වීමේදී උණුසුම් වාද විවාද යනවා. 20 වැනි සංශෝධනය ගැන අපි බෙදිලා කතා කළා. 16 දෙනා අපට එකතු කරගත යුතුද? නැද්ද? කියලා අපි ප්‍රසිද්ධියේ බෙදිලා වාද විවාද කළා. ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියන කාරණයේදී අපි තවමත් සංවාද කරනවා. අපි කවදත් එකම මතයේ හිටියේ නැහැ. අපේ මතය කුමක් වුවත් අපේ බහුතරයේ මතයට එකඟ වෙලා කටයුතු කරනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

ආණ්ඩුව කියන විදියට “ජනබලය කොළඹට” උද්ඝෝෂණය අසාර්ථකයි. ඔබ කියනවා සාර්ථකයි කියලා. ඇත්තටම මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට දැනෙන්න දෙයක් කළාද?

මේක තමයි ලංකා ඉතිහාසයේ දැවැන්තම උද්ඝෝෂණය. ලංකා ඉතිහාසයේ දිගම උද්ඝෝෂණය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රැසක් පහන් කළ උද්ඝෝෂණය. අලිය බිහිරි නැත්නම්, ඇඟ හිරිවැටෙන රෝගයක් නැත්නම්, අලියා අන්ධ නැත්නම් ඉතිහාසයේ නොවූ විරූ විරෝධයකින් ආණ්ඩුවට දැනෙන විදියට අපි දෙයක් කළා. මොකද එහෙම දැනෙන නිසයි අණ්ඩුව නැහැ කියන්නේ.

ඔබ කියන්නේ මේ උද්ඝෝෂණයට ආණ්ඩුව බලෙන් බය වෙන්න ඕන කියලද?

අපි පුංචි කාලයේ හොල්මන්වලට බය නිසා කනත්ත ගාවින් යද්දී කෑගහලා කියනවා ඉන්න හොල්මනක් ‘වරෙන් යකෝ අපි බය නැහැ යකෝ’ කියලා. ඇයි එහෙම අපි කෑ ගහන්නෙ. ඇත්තටම බය නිසයි. මේ ආණ්ඩුවත් අපි බය නැහැ. ආණ්ඩුවට කිසි දෙයක් වුණේ නැහැ. ආණ්ඩුව ඒ ලෙසටයි කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව බයයි. මේ බය නිසා තමයි රෑ 12ට මාධ්‍ය හමු තියල කියන්නේ උද්ඝෝෂණය අසාර්ථකයි කියලා. ඇමැතිවරුන්ට මේ උද්ඝෝෂණයට ආපු ජනතාව දැක්කම බය හිතිලා. ඒ අයට නින්ද යන්නේ නැහැ. රෑ 12ට මාධ්‍ය හමු තියලා කියනවා අපි බය නැහැ කියලා. ඒකෙන්ම පෙනෙනවා මේ උද්ඝෝෂණයේ බිය ආණ්ඩුවට හොඳටම දැනිලා කියලා. මීට ඉස්සර කවදාවත් ඇමැතිවරු නොනිදා මාධ්‍ය හමු පවත්වලා නැහැ කවදාවත්.

ඇතුළේ අරගල නොකර ඇයි එළියේ උද්ඝෝෂණ කරන්නේ. ඇතුළේ අරගල කරනවා නම් ජවිපෙ සහායත් දෙනවා කියද්දී ඇයි මේ විදියේ අරගල?

මා මිත්‍ර ලාල්කාන්ත මන්ත්‍රිතුමාගේ දේශපාලන දැනුම ගැන මම පුදුම වෙනවා. මුලින්ම කියන්න ඕන පාර්ලිමේන්තුව ඇතුළේ එතුමා හිටියා නම් මේ ආණ්ඩු විරෝධී අරගලයට එතුමා එකතු වෙයි කියලා. නමුත් අවාසනාවකට එතුමා ඇතුළේ නැහැ. ඇතුළේ ඉන්නේ ජවිපෙ හිටපු නායක සෝමවංශ මැතිතුමා රතු අලි පැටව් කියලා නම් කළ අය පමණයි.

මේ අය එජාපය සමඟ ජුගුප්සාජනක සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ. රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන පළාත් සභා ඡන්දය කල්දාගන්න පනතට අවශ්‍ය තුනෙන් දෙක හදලා දුන්නේ ජවිපෙයි. හැමදාමත් මේ ආණ්ඩුවට කඩේ යන වැඩෙයි ජවිපෙ කරන්නේ. එවැනි පක්‍ෂයක් මෙවැනි අරගලයකට සහාය දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. අගමැතිතුමාට ගෙන ආ විශ්වාසභංගයට අනපේක්‍ෂිත ලෙස අපට සහාය දෙන්න හිටපු එජාප හා ශ්‍රී ලනිප මන්ත්‍රිවරු අවාසනාවන්ත විදියට මඟ ඇරියේ බැඳුම්කර සල්ලි යහමින් විසි කළ නිසයි කියායි ආරංචිය.

* එජාපයේ අය එනවා කිව්වද?

ඔව්. අනිවාර්යෙන්ම. නමුත් බැඳුම්කර සල්ලි එජාප මැති ඇමැතිවරුන් අතේ යහමින් ගැවසෙන තාක් පාර්ලිමේන්තුව ඇතුළේ ස්වයංජනන අරගල කිරීමකින් ආණ්ඩුව පෙරළීම දුෂ්කරයි. එය කළ හැක්කේ රටේ ජනතාව බරපතළ ලෙස ආණ්ඩු විරෝධයක් පෙන්වන විටදී ඒ උණුසුම පාර්ලිමේන්තුවට දැනුණොත් විතරයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයෝ. එහෙම නම් ඒ අය ජනතාව කියන විදියට කටයුතු කරන්න ඕන. ජනතාව වැඩි විරෝධයක් පෙන්නුවොත් පක්‍ෂ පාට අමතක කරලා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙයි. එජාපය ජනබල මෙහෙයුම කළාට පස්සේ තමයි පො.එ.පෙ. හිටපු අය එජාපයේ වාඩිවෙලා ඒ ආණ්ඩුව බිඳ දැම්මේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට පත් කළේ. ඒනිසා ඉතිහාසය පුරාම ජනතා බලවේග තමයි ආණ්ඩු වෙනස් කළේ.

උපුටා ගැනිම–මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *