ගෙදරත් එක්ක තරහ වුණාට අම්මා තාත්තට හූකියන්නේ නැහැ

ඒකාබද්ධ කණ්ඩායම නටපු නැටුමකුත් නැති,බෙරේ පළුවකුත් නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීම පිණිස ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් එළියට ගැනීමට විරෝධතා සංවිධාන කළ උදවිය එය ආරම්භ කළේ ශ්‍රීලනිප මූලස්ථානයට හූ කියා අපහාස කරමින් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මෙම ජනබල මෙහෙයුමට එක්ව සිටි ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර මන්ත්‍රීකම් ගත් අය පක්ෂ මූලස්ථානයට අපහාස කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද කියා තමන් බලා සිටින බවද ඒ මහතා කීය.

ආණ්ඩු බලය ගෙන තනතුරු බෙදා ගන්නා ආකාරය පවා සාකච්ඡා කරමින් සංවිධානය කළ මෙම විරෝධතාව අවසානයේ ඒකාබද්ධ කණ්ඩායම නටපු නැටුමකුත් නැති,බෙරේ පළුවකුත් නැති තත්ත්වයට පත්වූ බවද හෙතෙම අවධාරණය කළේය.

පාරම්පරික ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකු වන තමන් ගමේ පන්සල,අධ්‍යාපනය ලද පාසැල් හා දේශපාලන ගමන ආරම්භ කළ පක්ෂ මූලස්ථානය කෙරහි දක්වන්නේ අපමණ ගෞරවයක් බවත් පක්ෂය ගොඩනගන්නට යැයි කියා ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉවත් වීමට බලකරන පිරිස කළේ පක්ෂ මූලස්ථානයට පොහොට්ටු පක්ෂයේ උදවිය හූ කියත්දී නිහඬව බලා සිටීම බවත් ඒ මහතා අවධාරණය කළේය.

බණ්ඩාරනායක මහතා සමඟ එදා මහින්ද රාජපක්ෂ මහතාගේ පියා යන ඩි.ඒ රාජපක්ෂ මහතාද ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට පෙරමුණ ගෙන ක්‍රියාකළ බවත් අම්මා,තාත්තා සමඟ තරහවී ගොස් ඔවුන් මරා දැමීමට හෝ ඔවුන්ට අපහාස කිරීමට පුතෙකු ක්‍රියා නොකරන බවත් අමරවීර මහතා පැවසුවේය.

පක්ෂ මූලස්ථානයට හූ කියන පිරිස් සමඟ අත්වැල් බැඳගෙන සිටින අය තාමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්ව නොමැති බවත් කකුළ දෙපැත්තේ තබාගෙන තමන් කිසිදා දේශපාලනය නොකළ බවත් කී ඒ මහතා පොහොට්ටුව සමඟ ඉන්නා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හැකි නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්ව පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවද ප්‍රකාශ කළේය.

මේ අය පාර්ලිමේනතුවට අවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කරඟ කර බවත් මැතිවරණයෙන් පැරදී සිටි අයට මන්ත්‍රී ධූර පමණක් නොව ඇමැතිකම් පවා දීම පිළිබඳව ජනතාව එදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දොස් කිවූ බවත් හෙතෙම කීය.

තමන්ට එරෙහිව විවේචන එල්ල වෙත්දී ඒවා ඉවසමින් ජනපතිතුමන් එදා මෙම පියවර ගත්තේ පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් බවත් තමන්ව පැරදවීමට කටයුතු කළ පිරිස සමඟ මොවුන් යළි එක් වේවියැයි එතුමා නොසිතූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

උද්ඝෝෂණ වලින් ආණ්ඩු පෙරළිය නොහැකි බවත් ඒ සඳහා තවත් වසර දෙකකින් එන මහ මැතිවරණයේදී උත්සහයක් ගෙන බලන ලෙස තමන් මෙම විරෝධතා සංවිධානය කළ පිරිස ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *