2013 වසරේදි නව කොරෝනා වෛරසය ගැන ලොව මුලින් කී ලංකාවේ දොස්තර මහත්මයා කවුද??

2013 වසරේදි නව කොරෝනා වෛරසය ගැන ලොව මුලින් කී ලංකාවේ දොස්තර මහත්මයා කවුද??ඔහු අද සිටින්නේ සෞඛ්‍ය සේවයේ මුල්ලකය.

හාර පස් මසකට ඉහතදී චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මාරාන්තික වෛරසයක් ලොව පුරා පැතිරී යන්නට පටන් ගත්තේය. එම වෛසරය මුලින්ම හැඳින්වූයේ “නව කොරෝනා” යනුවෙනි. ඒ සමග ලංකාවේ මිනිස්සුද කොරෝනා යන වචනය සිය වාග් කෝෂයට එකතු කර ගත්තේය. එහෙත් නව කොරෝනා යන වචනය මුලින්ම කරළියට ආවේ මීට වසර හතකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළ වූ විද්‍යා ලිපියකින් බව බොහෝ දෙනකුට අමතක වී තිබුණේය. 2013 ඔක්තෝබර් 13 වැනිදා පළ වූ එම ලිපිය ලියා තිබුණේ වෛද්‍ය චමල් සංජීවය. ‘‘ලංකාව ආක්‍රමණය කළ හැකි මාරාන්තික වෛසරයක් ගැන අනතුරු හඟවයි. මැදපෙරදිග සහ බටහිර ආසියාවේ සිට සංචාරකයන් හරහා ලොව පුරා පැතිරෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත මාරාන්තික නව කොරෝනා වෛසරය’’ වෛද්‍ය චමල් සංජීවගේ ලිපියේ සිරස්තලය විය. එහෙත් ඔහුගේ එම ලිපියට එකල ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අවධානයට යොමු නොවීය. ඊට හේතු වන්නට ඇත්තේ වෛරසය පැතිරී රටවල් ලොක් ඩවුන් වන කතා මින් පෙර දැන ඇත්තේ විද්‍යා ප්‍රබන්ධවල නිසා වෙන්නැතිය.

ඒ කතාවත් හරියට සුනාමිය වාගේය. දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය වැනිදා ලංකාවට සුනාමිය එන තෙක් එවැනි වචනයක් ලංකාවේ තිබුණේ නැත. එනමුත් ජපානය ගැන ලියැවුණු පොත් පත්වලද සුනාමි යනුවෙන් වචනයක් තිබුණි. ජපන් ගිය ලාංකිකයෝද එවැනි වචනයක් අසා තිබුණි. සුනාමියක් ඇසින් දැක නැති ලාංකිකයෝ එහි විනාශය ඇස් පනා පිට දැක්කේ 2004 දී සුනාමිය ලංකාවට කඩා පිනූ වෙලාවේය.

චමල් සංජීව ලිපියෙන් අවධාරණය කර තිබුණේ මේ මාරාන්තික වෛරසයට දැනට ස්ථිර ප්‍රතිකාරයක් නැති බවය. ඒ කතාව සැබෑය. බලවත් රටවල්ද කියන්නේ ප්‍රතිකාරය සොයා ගැනීමට තවත් වසරක් ගතවනු ඇති බවය. කෙසේ නමුදු ලොවම අද මුහුණ පා සිටින ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ පෑමේ අවදානමක් පවතින බව 2014 වර්ෂයේදී බිල් ගේට්ස්ද 2015 වර්ෂයේදී බැරැක් ඔබාමා ද ප්‍රකාශ කොට තිබුණි. ඒ කිසිදු අවස්ථාවක “නව කොරෝනා වෛරසය” යන වචනය ඔවුහු භාවිත නොකළහ. නව කොරෝනා වෛරසය ගැන ලිපියේ සඳහන් වූයේ Corona කාණ්ඩයේ වෛරස රෝග දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑමක් කළ හැකි බවත් එම රෝග වසංගත පාලනය කිරීමට පාලකයන් සහ බලධාරීන් විසින් නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් ලොවපුරා ජන සංඛ්‍යාවෙන් මිලියන ගණනක් මිය යාමට හැකි බවත්ය.

වෛරස කාණ්ඩයේ රෝගී තත්ත්වයක් වන නව කොරෝනා වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් හෝ සොයා ගැනීම පහසු නොවන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් මුළුල්ලේම ජගත් ප්‍රජාව මෙම රෝගී තත්ත්වයක් නිසා පීඩාවට පත් විය හැකි බවත් රෝග තත්ත්වයන්ගෙන් මිදීමට හැකි එකම ක්‍රමවේදය නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමත් ආවරණ හෝ මුඛ ආවරණ පැලඳීම දෑත් දෙපා පිරිසුදුව තබා ගැනීම මෙන්ම විශේෂයෙන්ම කිවිසුම් යාම හා සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ත්වයනවලදී වඩාත් ආරක්ෂාකාරීවීම වැදගත් බවත් මෙම ලිපිය මගින් මීට වසර හතකට පමණ පෙර වෛද්‍ය චමල් සංජීව විසින් පෙන්වා දී තිබුණි.

මේ ලිපිය ලියන කාලයේ වෛද්‍ය චමල් සංජීව කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඔහු වර්තමානයේදී කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට අනුබද්ධව තම රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය හදාරමින් සිටින්නේය. ඔහු විද්‍යා සන්නිවේදකයෙකි. වෛද්‍ය චමල් සංජීව කියන හැටියට ඔහු ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳ නිරන්තරයෙන්ම යාවත්කාලීන වේ. විදෙස් විශ්වවිද්‍යාලවල පර්‌යේෂණද පත්‍රිකා ඔහුගේ නිරන්තර අධ්‍යයනයට ලක් වේ. එවකට පැවැති සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු ද සංඛ්‍යා ලේඛනද ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණද මත පිහිටා තමා 2013දී මෙම ලිපිය ලියූ බව කියන්නේය. “මම අනාවැකි කියන්නෙක් නොවේ. හත් වසරකට පෙර මා කළේ එවකට ජාත්‍යන්තරව ලද විද්‍යාත්මක තොරතුරු ඇසුරෙන් කරන ලද විද්‍යාත්මක පුරෝකථනයක්. එදා කළ පුරෝකථනය අද සිද්ධ වෙලා තිබෙනවා’’ යැයි වෛද්‍ය චමල් සංජීව කියන්නේය.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය මීට පෙර සොයා නොගත් නව වෛරස් රෝග කාණ්ඩයක් බවත් සඳහන් කරමින් එම වෛරසයේ නව නම නව කොරෝනා වෛරසය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරනු ලැබුවේ ගිය පෙබරවාරි මාසයේදීය. එහෙත් වෛද්‍ය චමල් සංජීව විසින් නව කොරෝනා වෛරසය යන නම භාවිත කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයද එම වචනය භාවිත කිරීමට පෙරදී වීම විශේෂය. නව කොරෝනා වෛරසයට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව කොවිඩ් – 19 යනුවෙන් නම් තැබීය. මේ වෛරසය චීනයෙන් ආරම්භ වී රටවල් කීපයකට මුලින්ම පැතිරෙද්දී ලංකාවේ ඒ ගැන වැඩි කතාබහක් ඇති වූයේ නැත. ඒ දූපතක් වන ලංකාවට මෙම වෛරසයෙන් ලොකු බලපෑමක් වනු නැතැයි කල්පනා කළ බැවිනි. එහෙත් නව කොරෝනා වෛරසය ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධව ලංකාවේ පුවත්පතකින් මුල් වරම කරුණු අනාවරණය කෙරුවේද වෛද්‍ය චමල් සංජීවමය. ඒ මෙම වසරේ ජනවාරි මස 29 වන දින අරුණ පුවත්පතෙනි.

‘‘මා අපේ රටේ ජාතික පත්තරවලට ලිපි ලියන්න පටන් ගත්තේ 1990. ඒ වන විට මට වයස අවුරුදු දාහතරක් වගේ. එතැන් පටන් මා දිගින් දිගටම අපේ රටේ ජනමාධ්‍ය හරහා ගෝලීය වශයෙන් පවතින ජාත්‍යන්තර විද්‍යා පර්‌යෙෂණ සම්බන්ධව නිරන්තර අවධානයකින් පසුවුණා.

ඒ වගේම පර්‌යේෂණ විවිධ රටවල් සමග සංසන්දනය කරමින් විශ්ලේෂණාත්මක ලෙස අපි රටේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය කළා. මෙවැනි ආකාරයක විශ්ලේෂණාත්මක ගවේෂණ වල නිරතවන අතරේ තමයි මට 2013 වර්ෂයේදී එවකට ලොව පුරා පැතිර යන මර්ස් MERS රෝගය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන්නේ. අපේ රට ඇතුළු රටවල්වලට මෙවැනි වසංගත බලපෑම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැති වුණත් එම පර්‌යේෂණ වාර්තා හා සංඛ්‍යා ලේඛන විස්තර කර තිබුණු ආකාරය අනුව අපේ රටට කුමන අන්දමක වෛරස කාණ්ඩයක ප්‍රබල බලපෑමක් සිදුවිය හැකි බවත් එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි වඩා ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ වැදගත්කමත් ලෝකයම තනි යායක පවතින අවස්ථාවක ඉතා පහසුවෙන් රෝගී තත්ත්වයක් රටට පැමිණ හානි කිරීමේ හැකියාව ගැනත් අපේ රටේ ජනතාවට දැනුම්දීමේ අවශ්‍යතාවක් තිබුණා.

එසේම එම රෝගී තත්ත්වය කොරෝනා වෛරසය කාණ්ඩයේ රෝගී තත්ත්වයක් වීම නිසා එවකට මම එම රෝගී තත්ත්වය විස්තර කිරීම සඳහා නව කොරෝනා වෛරසය යන නම භාවිත කළා.’’ ඔහු කියන්නේය. මේ වෛරසය 2013දී නව කොරෝනා යනුවෙන් හැඳින්වූයේ ඇයිදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු. ‘‘අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨ සිංහල සාහිත්‍යධරයන් වන මාර්ටින් වික්‍රමසිංහ මුනිදාස කුමාරතුංගයන් වැනි විද්වතුන් විද්‍යාත්මක වචන සඳහා අපූරු සිංහල වචන භාවිත කළ බව මම පොත්පත් මගින් කියවලා තිබුණා. මෙම වෛරස කාණ්ඩය අලුතින් ඇතිවන නිසා මම නව කොරෝනා වෛරසය යන වචනය භාවිත කළා. අද වන විට ලෝ පුරා ව්‍යාප්ත වන අලුත් වෛරසයක් නොව කාණ්ඩ රැසක එකතුවක් නැත්තං මුහු වීමක් බව දැන් සනාථ වෙමින් පවතිනවා. ඒ නිසා මං එදා කොරෝනා වෛසරය ගැන ලියූ දෙය අද නව කොරෝනා වෛසරය ගැන වුවත් ඒ ආකාරයටම සත්‍ය වන නිසා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය තුළ මගේ මේ ලිපිය වැඩි අවධානයක් යොමු වුණා. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. හැබැයි අපි පුවත්පත්වලින් මේ කරුණු කිව්වට මදි. අපේ රටේ ඉන්න පාලකයන් සහ බලධාරීන් නිරන්තරව ඒ ගැන අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවයි මා විශ්වාස කරන්නේ.’’

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති අනතුරු ඇඟවීම්ද වසංගතයේ හැසිරීම් රටාවද විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ අපගේ සමාජය ද මේ වනවිට විවෘතව පවතින බැවින් රෝගී තත්ත්වය උපරිම මට්මට ලඟාවී අවම වීම ජුනි මාසයේ අග දක්වා පැවතිය හැකි බවතය. මේ කාලය තුළ පළමු පෙළ ආසාදිතයන් හා සමාජය තුළ පැතිර ගිය ආසාදිතයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරි කාලයේදී හමුවිය හැකි බවද ඔහු පැවසීය. වෛද්‍ය චමල් සංජීව එකල කීවේ අවදානම පහව ගොස් නැති බවය.

තංගල්ල ප්‍රාථමික විද්‍යාලය සහ තංගල්ල රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනයද ලද වෛද්‍ය චමල් සංජීව රුහුණු විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද්දේ 2003 වසරේදීය. රෝහල් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් විද්‍යාපති උපාධි සම්පූර්ණ කරන ලද ඔහු හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස පසුගිය කාල සීමාවේදී කටයුතු කරන ලදී. 2007 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම විද්‍යා සන්නිවේදකයා සඳහා වන විද්‍යාභිවර්ධන සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලදී. සමාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා විචාර ලිපි ලිවීමේ හපන්කම් දක්වන වන වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ප්‍රධාන පෙළේ වෛද්‍ය ග්‍රන්ථ 05ක කතුවරයකු ද වෙයි. මීට පෙර 2010 වසරේදී, රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් ඇති ශල්‍යාගාර ඇඳක් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රුපියල් විසිපන්දහසකට ආසන්න මුදලකින් නිමවීමට ඔහු සමත් විය. එසේම රුපියල් ලකෂ දහයකට ආසන්න වටිනාකමක් දරන උණුසුම්කරණ උපකරණයක් (Incubator) රුපියල් පහළොස් දහසකට ආසන්න මුදලකින් නිමවා රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ඇගයීමටද වෛද්‍ය චමල් සංජීව පත්විය. 2017 වසරේදී ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ වාර්ෂික සැසි වාරයේදී හොඳම විද්‍යා පර්‌යේෂණ ඉදිරිපත් කිරීම සඳහා වන පළමු පෙළ සම්මානයද හිමි වූයේ වෛද්‍ය චමල් සංජීවටය.

තවද 2017 වසරේ සෞඛ්‍ය අංශයට අදාළ විද්‍යාත්මක පර්‌යේෂණ වාර්තා ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් ඔහුට හිමිවිය.

Global Award For Academic Championship 2017 නම් මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත්තේ ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන පර්‌යේෂණ වාර්තා ඇගයීමේ කාර්යයෙහි නිරත වන International Agency For Standards and Rating (IASR) ආයතනය මගිනි. ඒ සමගම වෛද්‍ය ජී.ජී. චමල් සංජීවට අදාළ ආයතනය මගින් එහි යාවජීව සාමාජිකත්වය International Agency For Standards and Rating (IASR) පිරිනමා ඇත. ශ්‍රී ලාංකිකයකු මෑත කාලයේදී මෙම ඇගයීමට ලක්ව ඇත්තේ ප්‍රථම වතාවට වීමද මෙහි විශේෂත්වයකි.

ලොව පුරා රටවල් 56ක විද්‍යා පර්‌යේෂකයන් 6000කට ආසන්න ප්‍රමාණයක් අතරින් 2017 වසරේ සෞඛ්‍ය සඳහා වන මෙම ජාත්‍යන්තර ඇගයීම දිනා ගැනීමට වෛද්‍ය චමල් සංජීව සමත් විය. කොරෝනා වෛසරය ලංකාවේ පැතිරෙද්දී වෛද්‍ය චමල් සංජීවගේ නම මුලින්ම කරලියට ආවේ හත් වසරකට පෙර ඔහු කියූ අනාවැකිය නිසා නොවේ. තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය ඔහු නිරෝධායන කටයුතු සඳහා පරිත්‍යාග කළේ එවැනි දෙයක් කළ මුල්ම වෛද්‍යවරයා පමණක් නොව මුල්ම ශ්‍රීලාංකිකයා බවට පත් වෙමිනි.

මේ මොනවා කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැමුන්ට වෛද්‍ය චමල් සංජීවලාගෙන් වැඩක් නැත. ඔහු අද සිටින්නේ සෞඛ්‍ය සේවයේ මුල්ලකය. වැඩියෙන් වැඩ කළොත් ලෙඩ ගොඩය. ලංකාවේ රාජ්‍ය සේවයේ හැටි එහෙමය.

උපුටා ගැනිම–අරැණ පුවත්පත
ඉසුරු කලංසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *