ගම්පහ ඡන්දදායකයන් 17,85,964 දෙනෙකු හෙට ඡන්දයට සුදුසුකම් ලබති

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්  ගම්පහ දිස්ත්‍රික්කයට ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දදායකයන් 17,85,964 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මෙය 2019 පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්දදායකයින් 34,092 ක වැඩිවීමක් බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී , දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 

දිස්ත්‍රික් තේරීම් භාරනිලධාරීවරයා මේ බව පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මෙවරද මැතිවරණය සඳහාද දිවයිනෙහි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටිනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර දිස්ත්‍රික්කයෙහි තැපැල් ඡන්ද සංඛ්‍යාව 54,098 කි. 

මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් 693 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර පිළිගත් දේශපාලන පක්ෂ 15 කින් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් අපේක්ෂකයින් පිරිස ඉදිරිපත්ව සිටිති.

දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1188 කදී ඡන්දය පැවැත්වෙන අතර මෙම මැතිවරණයේ කටයුතු සදහා නිලධාරීන් වැඩි පිරිසක් යෙදවීමට සිදුව ඇති බව පැවසූ තේරීම් භාර නිලධාරීවරයා , නිලධාරීන් 27,339 ක් සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 6000 ක පමණ පිරිසක්  යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද කීය.

මෙවර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ කටයුතු සිදු කළ යුතුව ඇති බැවින් ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වැඩි කිරීමට පියවර ගෙන ඇති බව තේරීම් භාර නිලධාරි සුනිල් ජයලත් මහතා පැවසූ අතර එය පත්තලගෙදර ගුරු විද්‍යාලයේ ස්ථාන තුනක් ඇතුළුව වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය , නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය ,  නයිවල උසස් තාක්ෂණ විද්‍යාලය සහ විද්‍යාලෝක විද්‍යාලය යන පරිශ්‍ර හතකදී සිදු කෙරෙන බවද කීය.  

ගම්පහ දිස්ත්‍රික්කයෙහි මැතිවරණ කොට්ඨාස 13 ට අනුව වත්තල කොට්ඨාසය ඡන්දදායකයින් 13, 682 ක් , මීගමුව ඡන්දදායකයින් 11,2844 , කටාන 15,9112 , දිවුලපිටිය 11,6171 , මීරිගම 13,3339 , මිනුවන්ගොඩ 14,5471 , අත්තනගල්ල 14,3853, ගම්පහ 16,0532 , ජාඇල 15,8921 , මහර 16,5257 , දොම්පෙ 12,5383 , බියගම 13,3908 ක් සහ කැලණිය කොට්ඨාසයෙන් ඡන්දදායකයින් 96,491 ක් මෙවර ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර එය වැඩිම ඡන්දදායක සංඛ්‍යාව මහර මැතිවරණ කොට්ඨාසයෙන්ද අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාව කැලණිය කොට්ඨාසයෙන්ද වන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී/ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – ගම්පහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *