සද්ධර්මෝදයාරාම පින්කෙට ආලෝකය දුන් හේමාලෝක හිමි

තෙමස් පුර්ණ ගුණ සැමරුම වෙනුවෙනි

සිලි සිලි නාදයෙන් වෙහෙර මළුවේ බෝපත් ඒ මේ අත ලෙල ඳේ.සත්තකින් ම ඒ බුදු ගුණ කියන්නාක් මෙන් ය.ඝංඨා හඩ සිතගත සමාධිගත කරවයි.නිල්වන් අහස් තලයට එසවී පතාකයෙකු සේ දිස්වන  සෑ රජුන්  සුදෝ සුදුට නෙත් සිත් හි චිත්‍රණය ශ්‍රද්ධා මහිමයේ ප්‍රතිමූර්තිය,යි. ඈත වෙල් යායේ පැසුණු වී කරල් රන් වන් පාටින් දිලිසේ. එය ඈතට දිස්වන්නේ  කෙතක හැඩයට සැකසුණු  කහ සිවුරක් සේ ය.සුදු වැලි තලය මත බෝපත්, බෝ මුල් ඉඳහිට දැකිය හැකි ය.මල් සුවඳත් සිල්සුවඳත් මුසු වු මේ වෙහෙර බිම සුර විමනක් සේ ය.දැල්වෙන පහන් සිළු ආලෝකයෙන් දිදුලන වෙහෙර, සිතත්,ගතත්  නින්නාද කරමින් නිවන්  මගට ආමත්‍රණය කරන්නා සේය. කලල්පිටියේ හේමාලෝක හිමියන් බෝ මළුවේ සක්මන් කරන්නාක් මෙන් අපට ඈතින් දිස්වේ. අප මේ ගමන් කරන්නේ,අක්මීමන,ඉහළගොඩ,කළුගලමාවත,සද්ධර්මෝදයාරාම පින්කෙතට යි.

අපවත් වී වදාළ අක්මීමන,ඉහළගොඩ,කළුගලමාවත, සද්ධර්මෝදයාරාමාධිපති කලල්පිටියේ හේමාලෝක මාහිමියන් වහන්සේ පසුගිය2018 ජනවාරි මස 30 වන දා අපවත් වී වදාළ සේක.උන් වහන්සේගේ තෙමස් පුර්ණ පින්කම් මාලාව  2018.05.01 දින දවස පුරා ආගමික කටයුතු රැසක් සමඟින් අක්මීමන,ඉහළගොඩ,කළුගලමාවත, සද්ධර්මෝදයාරාමයේ දී පැවැත්වේ.

භික්ෂුව වූ කලි නිර්වාණ මූලික ප්‍රතිපදාවක් විෂයයෙහි තම ජීවිතය කැප කළ පරමාදර්ශී පුද්ගල චරිතයක් අපේක්ෂා කරන්නෙකි. බුදුන් වහන්සේගේ නිර්දේශය අනුව මෙම භික්ෂුව සතු ප්‍රධාන කාර්යභාරයන් දෙකකි.නිර්වාධිගමය මූලික ධර්මානුධර්ම   ප්‍රතිපදාවක යෙදීම සහ  ගිහි පැවිදි සමාජය යහමඟට යොමු කිරීම, යි. මෙම පරමාදර්ශී අරමුණු කොට ක්‍රියාත්මක වන පැවිද්ද අතිශය දුෂ්කර බව බුදුන් වහන්සේ විසින් ම දක්වා ඇත. මෙම වගකීම් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වීමේ දී ඇති වූ සහ ඇතිවිය හැකි සංසිද්ධීන් කෙරෙහි ද බෞද්ධ මූලාශ්‍රය අවධානය යොමු කොට තිබීම වැදගත් කරුණකි.මේ අනුව, මේ අසීරු වු ඉලක්කය ජයගැනීමට, ඉමහත් කාලපරාසයක් ගෙවමින්, අප්‍රමාධී ව වීර්යය  වඩා ක්‍රියා කොට සමෘද්ධිය සාක්ෂාත් කරලීසට, කලල්පිටියේ හේමාලෝක නාහිමියන් වහන්සේ සමත් වූහ.

ගාල්ල,අක්මීමන,ඉහළගොඩ,කළුගලමාවත,සද්ධර්මෝදයාරාමාධිපති ගෞරවාර්හ, කලල්පිටියේ හේමාලෝක නාහිමියන් වහන්සේ සසුන් කෙත අස්වද්දන්නට සිදු කළ මෙහෙවර උන් වහන්සේ අපවත් වුව ද ජනතාවට අමතක කළ නොහැක. ඒ වෙනුවෙන්, අප යතිවරයාණෝ සිදු කළ ශාසනික,ආගමික,සමාඡීය,සංස්කෘතික,අධ්‍යාපනික සේවාවන් ඔවුන්ගේ සිත්වල සදාකාලික නිදන්ගත ව පවතිනු ඇත.

1918 ජනවාරි 25 දින ගම්පහ දී උපත ලද කුල කුමරෙක් 1930 දී අත්තනගල්ලේ රජ මහා විහාරයේ දී කලල්පිටියේ හේමාලෝක නාමයෙන් පැවිදි දිවියට ඇතුළත් වූහ. පසුව හේමාලෝක හිමියන්,  හපුගල ශ්‍රී සුධර්මාරාමයේ කුඹල්වැල්ල ධම්මරතන හිමියන්ගේ පා සෙවණේ වැඩ වසමින්  වසර 17ක් මූලික දහම් අධ්‍යාපනය ලබා 1938 දී මහනුවර මල්වතු විහාරීය  උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ව   ලැබුහ.

අනතුරුව, ගාල්ල කිතුලම්පිටිය,ආනන්ද පිරිවෙනටත්, ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙනටත් ඇතුළත් ව, ශාසනික අධ්‍යාපනය   ලැබුහ. පාලි සංස්කෘත භාෂා ඇතුළුව ,ශබ්ද ශාස්ත්‍රාත් තෙවළා බණ දහමන් පිළිබඳ ව , මනා  වු අවබෝධයක් ලබා ගත්හ.අනතුරුව,එවකට හක්මන ගුණානන්ද හිමියන් විසින් අරඹා ආරාජික ව තිබූ කළුගල මාවත,ශ්‍රී සද්ධර්මෝදයාරාමයට 1940 වසරේ දී වැඩම කොට,විහාරස්ථානය සියලු විහාරාංඟවලින් සම්පූර්ණ කරමින් ශාසනික කාර්ය ඇරඹුහ. උන්වහන්සේ ,1976 දී ආරම්භ කරනු ලැබූ ශ්‍රී හේමාලෝක දහම් පාසල, බෝසත් ළමා ළපටියන්ට දහම් නැණ නුවණ ලබාදෙන්නට තෝතැන්නක් බවට පත් කළහ.ඒ නිසාම එය අක්මීමන ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ පිහිටි විශිෂ්ටතම දහම් පාසල ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

යුහුසුළු ව ජාතික සමාජික,කාර්යෙහි නිරතවුව ද  අප මාහිමියෝ පැවැත්මෙන් සංයත වූ ගමනින් ශාන්ත වු අප හිමියෝ කිසි දිනක කිසිවෙකුටවත් සිත රිදෙන්නට වචනයක් හෝ කතා නොකළහ. දායක දායිකවන්ට සත්පුරුෂාරුෂාධ්‍යාශයෙන් අනුශාසනා සිදුකළ අප හිමියෝ විටක නායකයෙක් වුහ.තවත් විටක ගුරුවරයෙක් වු අතර තවත් විටක  මිතුරෙක් වන්නට තරම් ජන හදවත් හදුනා ගත් අනිතමානි සැබෑ සංඝ පිතෘවරයෙක් වුහ.

ස්වකීය දායක දායිකාවන්  පමණක් නොව කවර හෝ ආගන්තුකයෙක්  සිනා මුවින්  පිළිගන්නා  උන් වහන්සේ, අසරණයන් කෙරෙහි දැක්වුයේ අපමණ කරුණාවකි. ඔවුන්ගේ කුස ගින්න අප නාහිමියන්ට දැනුනේ, තම කුස ගින්න සේ ය. ඒ දහමෙහි පිහිටා ගිහි භවතුන් විසින් ලබා දෙන්නා වු දානයෙන් පවා  ආගන්තුකයන්ට සත්කාර කරන්නට ප්‍රායෝගිකව ම  නියලුණු හිමිනමක් වශයෙන් අදට ද උන් වහන්සේ ජනතාව අතර ප්‍රචලිත ය. උන්වහස්සේගේ ඉඳුරන් සන්සුන්ය,සිත තැන්පත් ය.

සියලු ඉරියව් අතිශයින් ම උප ශාන්තය. දුටුවන්,සිත්හි සැදැහැ ගුණ ජනිත කරවන සුළුය. ස්වකීය ශිෂ්‍ය හිමිවරුන්ට ද,  සඟ පරපුරේ සියලු  ශිෂ්‍ය බාලකාදීන්ටද අවවාදයෙන් නොව ආදර්ශයෙන් නිසි මඟ පහදා දිමට හැකි විය. ඒ නිසා උගත්, බුද්ධිමත්,ක්‍රියා ශූර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසක් බිහිකොට  දිවයිනේ හා විදෙස් රටවල දහම් සසුන් කෙත අස්වද්දන්නට එම ශිෂ්‍ය පිරිස යොමු කිරීමට  උන් වහන්සේ සමත් වූහ.

උන්වහන්සේ ශාසනයට දායාද කළ උගත් බුද්ධිමත් කාර්යශූර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසකි.උන් වහන්සේලා අතරින්,මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද ධර්මදූත සේවයේ යෙදීමට සමත්ව ඇති, අලවල සුභූති හිමියන් වර්තමානයේ උතුරු ඇමෙරිකාවේ රිදී දිවයින ( Silver Island ) නමින් හැඳින්වෙන නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ලෙසද, ඇමෙරිකාවේ රන් දිවයින (Golden Island  ) ලෙස හැඳින්වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙරිනෝවැලි නගරයේ සම්බුද්ධාලෝක විහාරාධිපති ලෙස වතෝගල සරණසිරි හිමියෝ ද , නියෝජ්‍ය විහාරාධිපති ලෙස වල්පොළ අනුරුද්ධ හිමියෝ ද  පුළුල් දහම් අධ්‍යාපන සේවාව ක නියලී සිටිති.

ඒ අනුව, අප මාහිමියෝ දේශ දේශාන්තරවල පවා නිර්මල බුදු දහම් ප්‍රචලිත කරන්නට අනුබල අනුශාසනා දෙමින් දැවැන්ත ශාසනික මෙහෙවරක් ඉටුකරන්නට ඇපකප වී කටයුතු කළහ.

කතළුවේ ශ්‍රී සුමංගලාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිපානන්  අඟලකඩ සඟ පරපුරේ ශිෂ්‍ය භික්ෂූන් හත් නමකගේ අවසන් පුරුක ලෙස අප මාහිමි පාණෝ  අපවත් වන්නේ වසර සියයකුත්, දින දෙකක ආයු කාලය නිමා කරමිනි.

සහජයෙන් ලත් කුසලතා හා නිපුනතා හෙතුකොටගෙන කලල්පිටියේ අප මාහිමිපාණන්ගේ යතිවර දිවිය හැම ඇතින් ම වරණ වත්,වූයේ ය. ජනප්‍රිය ධර්ම දේශකයෙක්, වූ උන්වහන්සේට ශ්‍රද්ධාභක්තිය උපදවන සුළු සුරම්‍ය ස්වරයෙන් පිරිත් දේශනා හා අනුශාසනා ආදිය පැවැත්විමට ද සුවිශේෂ වු දක්ෂතාවක් තිබිණ. අඩුවෙන්. කතා කිරිමත්,අනලස්ව.වැඩ කිරිමත්. උන්වහන්සේ ගේ සිරිත ය.විවිධ ආගමික අවශ්‍යතා සපුරාලීම සඳහා විහාරස්ථ දායාක නිවෙස් පමණක් නොව අවට සෑම ගමකම පාහේ දුෂ්කර කඳු පල්ලම් සිසාරා පා ගමනින් නොවැඩි නිවසක් වේ නම්, ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. විවිධ තනතුරු තාන්න මාන්න හෝ අසිමිත භෞතික සම්පත් පිළිකෙව් කරමින් අල්පේච්ජ වු ද

අනතිමානි වූ ද අතිශය සරල ඡීවිතයක් ගත කළහ.බහුශ්‍රැත චිරරානුශද භාවයත්,කෘත පුණ්‍ය මහිමයත්,නිසාම ජීවිතයේ අවසාන භාගය සුගන්ධ පුෂ්පෝපශෝභිත අතු පතරින් ගැවසුණු වනස්පතියක් සේ සාධු ජනයාගේ වන්දනාමානාදියට පාත්‍රවේමින් බහා තැබූ බර ඇත්තෙකු ව සතුටු සිතින්,ම කල් ගෙවුහ.

අතිපුජ්‍ය කතළුවේ  ශ්‍රී සුමංගලාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන්ගේ ශිෂ්‍ය භික්ෂුන් හත් නමක ගේ අවසන් පුරුක වු අප මාහිමිපාණන් අපවත් වූයේ වසර සියයකුත්, දින දෙකක  ආයු කාලයක් නිමා කරමිනි.අගලකඩ සඟ පරපුර කීර්තිමත් කළ කතළුවේ ශ්‍රි සුමංගලාභිධාන සංඝ පිතෘවරයන් වහන්සේ වනාහි දිර්ඝකාලීන විදේශිය  ආධිපත්‍යයට නතුව පැවැති මෙරට නිදහස දිනා ගැනිමෙන් පසුව දියත් වු ජාතික හා ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට, ඝෘජුව දායක වූ විරෝධාර යතිවරයාණ කෙනෙකි.එකල ක්‍රියාත්මක වූ මිෂනාරී විරෝධි‍ බෞද්ධ බලවේගයටත්, රටම ගිල ගනිමින් පැවැති මත් උවදුරටත් එරෙහි අමද්‍යප ව්‍යාපාරයටත්,සංස්කෘතික පුනරුත්ථාපනයටත්,පුරෝගාමී මෙහෙවරක්, කළ උන්වහන්සේ අප ලොකු හාමුදුරුවන් වහන්සේ ආදිපත්‍යය දැරු අක්මීමන කළුගල මාවත ,ශ්‍රී සද්ධර්මෝදයාරාමය හා අංකොක්කාවල ශ්‍රි සුමංගලෝදයාරාමය,වලහන්දුව ශ්‍රී සුදර්ශනාරාමය,කහඳ ශ්‍රි සංඝරාජගුණෝදයාරාමය, වතෝගල තපෝදනාරාමය,මාතර ගොඩගම පන්ථාරාමය යන විහාරස්ථාන  හයක් ද, තදනුබද්ධ බෞද්ධ පාසල් රැසක්ද ආරම්භ කළහ.

උන්වහන්සේ විසින් එසේ සුරක්ෂා කරමින් තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වෙත සම්ප්‍රදානය කරන  ලද ඒ ගෞරවාන්විත ශාසනික සම්ප්‍රදායේ ජීවමාන ප්‍රතිරූපය වූයේ අපගේ හේමාලෝක මා හිමිපාණන් වහන්සේ ය.ඒ නිසාම උන් වහන්සේගේ අභාවයෙන් සසුන තුළ ඇතිවූ හිදැස අපි කිසිවෙකුටත් පිරිවිය නොහැකේමය.

යතිවර භූමීකාවේ භාරදුරත්වය මැනවින් අවබෝධ කර ගනිමින් සම්මා සතියෙන්, යුතුව ක්‍රියාකළ අප ලොකු හාමුදුරුවන් වහන්සේ වරතමාන ගිහි පැවිදි උභය පක්ෂය වෙනුවෙන් කරනලද විශිෂ්ටතම සම්ප්‍රදානය ලෙස සැලකිය යුත්තේ,සමාජය අභියස ප්‍රකට කළ ඒ ආදර්ශ සම්පන්න චරිතාප්‍රදානය ම ය.

සියපින්ම ඇති   ගැඹුර

පුන්සඳය ඔබ      අඹර

විපුල පල දෙන    තඹර

අනුත්තර පිං      කුඹුර

අපවත් වි වදාළ අක්මීමන,ඉහලගොඩ,කළුගලමාවත, සද්ධර්මෝදයාරාමාධිපති කලල්පිටියේ හේමාලෝක නාහිමියන් වහන්සේගේට නිවන් සැප ලැබේවා,යි  අප සාධු සිතින් පතමු..!

(අපගේ විශේෂ ස්තූතිය,විශාමලත් රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජේෂ්ට මහාචාර්ය  අගුළුගහ ධම්න්ද  නායක හිමි,විහාරාධිපති වතෝගල සරණ සිරි හිමි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *