16 කල්ලියේ අවසන් නවාතැන ලෙස පොහොට්ටුව තෝරාගනී

ආණ්ඩුව පරාජය කරන්න අපි දෙගොල්ලම එකම වේදිකාවකට

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සති කිහිපය පුරාම මෙරට දේශපාලනයේ නිරත විවිධ කණ්ඩායම් සමග සාකච්චා කරමින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටිමින් විපක්ෂයේ කාර්ය භාර්ය ඉටුකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් බිම්මට්ටමේ සාමාජිකයින්ගෙන් 16 කණ්ඩායමට දැඩි විරෝධයක් එල්ල වන ලදී.

කෙසේ හෝ අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හා බැසිල් රාජපක්‍ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ ඊයේ සවස පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද තම මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා ලැබුණු බවද මන්ත්‍රීවරයා කීය.ඊයේ පස්වරු 5.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

‘‘පොදු ජන පෙරමුණේ ඉන්නෙත් අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කළ උදවියයි. ඒ නිසා අපිට එක මතයකට එන්න අසීරු වුනේ නැහැ. ඉදිරියේදී මේ ආණ්ඩුව වෙනස් කරන්න පොදු වැඩසටහනක් යටතේ කටයුතු කරන්න අපි තීරණය කළා.

මේ සාකච්ඡාවෙන් අපි අතර තිබුණු විරසක බව නැති වුණා. දැන් අපි දෙපාර්ශ්වයටම එකට කටයුතු කරන්න පුළුවන්. අමාත්‍යධූර අත්හැරලා විපක්‍ෂයට ආපු දවසේ ඉඳලා අපි හිටියේ විපක්‍ෂයේ. අපි මෙච්චරකල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ විශ්වාසයෙන් කටයුතු කළා.‘‘

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

‘‘මින් පස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම කියල එකක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් අපිත් එකට කටයුතු කරන්න මේ දෙපාර්ශ්වයම එකඟ වුණා. ඒ අනුව අපි දෙපාර්ශ්වයම එකට එකතු වෙලා ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලී බලවේගයක් ගොඩනඟන්න ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව පරාජය කරන්න අපි දෙගොල්ලම එකම වේදිකාවකට ගොඩවෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න අපිට වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමේදී නීතිමය ප්‍රශ්න මතු වෙනවා. නමුත් නිල නොවන මට්ටමින් අපිට වැඩ කරගෙන යෑමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.‘‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *