ජපන්ගිය ඥානසාර හිමියන්ට වරෙන්තු

අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වු ඥානසාර හිමියන්ට වෙනත් ආගම් සම්බන්ධ වෛරී සහගත ක්‍රියාවල නොයෙදිය යුතු බවත් මහජන සාමය කඩවන පරිදි මින් ඉදිරියට ක්‍රියා කළහොත් ඇප අවලංගු කරන බවට අවවාද කරමින් ඉකුත් වසරේ ජුනි 21 වන දින අධිකරණය ඇප මත මුදා හැර තිබිණ.

පොලොන්නරුව සින්නවේලකුට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් ඉකුත් මැයි මස 13 වන දින පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනාව සම්බන්ධව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 හා 120 වගන්ති ප්‍රකාරව සංවිධානාත්ම අපරාධ නිවාරණ අංශය ඥනසාර හිමියන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

කෙසේ නමුත් ඥානසාර හිමියන් මේ දිනවල ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ දූත පිරිසේ සාමාජිකයෙකු ලෙස එක්වී සිටින බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූප කිහිපයක් කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *