12 වැනිදාට පස්සේ විදුලිය කප්පාදුවක් එයිද?????

12 වැනිදාට පස්සේ විදුලිය කප්පාදුවක් එයිද?????

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් එළැඹෙන 12 වැනිදායින් පසු විදුලි පාරිභෝගිකයන් හට විදුලි කප්පාදු රැසකට මුහුණදීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පවසයි.

සිය විධායක කමිටුව ගත් තීන්දුවකට අනුව අවශ්‍ය විවිධ අනුමතීන් හා බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන සියලු බලාගාර සඳහා 12 වැනිදාට ප්‍රථම අදාළ බලපත්‍ර සහ අනුමතීන් ලබා දීමට පාලනාධිකාරියට නොහැකි වුවහොත් එම බලාගාරවල රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ඔවුහු පවසති.

එම බලාගාර අතරින් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් නිපදවන නොරෙච්චෝලේ බලාගාරයෙන් මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් 50% – 60%ත් අතර ප්‍රමාණයක් සැපයෙන බවත් එම බලාගාරයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වීම මඟින් පමණක් දිවයින පුරා විදුලි බිඳවැටීම් රැසක් ඇතිවීමට හේතුවන බවත් ඔවුහු පැවැසූහ. බලාගාර ආශ්‍රිත අකර්මණ්‍ය වීම්වලදී ඉන්ජිනේරුවන් මැදිහත් නොවීම හරහා ජාතික විදුලිබල පද්ධතිය දැඩි ගැටලුවකට මුහුණදීමට නියමිත බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ඒ අනුව අවශ්‍ය විවිධ අනුමතීන් හා බලපත්‍ර රහිතව මෙතෙක් ක්‍රියාත්මක වූ නොරොච්චෝලේ හරහා නිපදවන මෙගාවොට් 900ක, ඇඹිලිපිටිය හරහා නිපදවන මෙගාවොට් 100ක, උතුරු ජනනී බලාගාරය හරහා නිපදවන මෙගාවොට් 24ක සහ කොළඹ බාජ් බලාගාරය හරහා නිපදවන මෙගාවොට් 60ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියෙන් ඉවත්වීමට නියමිත බැවින් එය දිවයින පුරා විදුලිය කප්පාදුවකට හේතුවිය හැකි බව එම සංගමය පෙන්වා දුන්නේය.

ලංවිම ඉන්ජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹී අද (08දා)ට මාසයක් ගත වෙයි.

පවතින අර්බුදය පිළිබඳ අගමැතිවරයා, විදුලි බල ඇමැති, නියෝජ්‍ය ඇමැති, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සහ එහි නියෝජිතයන්, ලංවිම සාමාන්‍යාධිකාරි, ඉන්ජිනේරු සංගමය ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ (07දා) සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එහිදී ලංවිම ඉන්ජිනේරුවරුන් පවසා ඇත්තේ එතෙක් තමන් ඉදිරිපත් කළ ජනන සැලැස්ම අනුමත කරන ලෙසය.
මේ අනුමැතිය ලැබෙනතුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ග කිසිවක් අතනොහරින බවද ඔවුහු ප්‍රකාශ කරති.
මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *