හිතුමතේ අධි වේදනා නාශක ඖෂධ අලෙවි කළ ගම්පහ ෆාමසිකරුවෙක් අත් අඩංගුවට

හිතුමතේ අධි වේදනා නාශක ඖෂධ අලෙවි කළ ගම්පහ ෆාමසිකරුවෙක් අත් අඩංගුවට…

මත් ලෝලීන් සදහා අධි වේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ෆාමසිකරුවෙක් ගම්පහ පොලිස් දුෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව කිසිසේත්ම අලෙවි කළ නොහැකි බව කියන මෙම ඖෂධ වර්ගය මත් ලෝලීන් සදහා අධික මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට පොලිස් බුද්ධි අංශයට සහ ” පොලිස්පතිට කියන්න ” යන දුරකථන අංකයට ලද තොරතුරු මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුකළ පරීක්ෂාවකදී මොරගොඩ ප්‍රදේශයේදී ෆාමසිකරු අත් අඩංගුවට ගෙන තිබේ.

දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් උපායදූතයෙකු යොදවා වෛද්‍ය නිර්දේශයක් නොමැතිව එම ඖෂධය ලබා ගෙන ඇති අතර ෆාමසියෙහි ඇතුලත වෙනම කොටසක තබා ගනිමින් වැඩි මිලකට මේවා අලෙවි කළ බව පොලීසිය පවසයි.

මෙම අධි වේදනා නාශක ඖෂධ වර්ගය පෙති 30 ක් සහිත ඇසුරුමක් රුපියල් 850 පමණ වන වන නමුත් මෙම ෆාමසියෙහි එම ඇසුරුමක් රුපියල් 1500 ක් වැනි මිලකට අලෙවි කොට ඇති බවත් පොලීසිය සදහන් කරයි.

මෙහිදී අධි වේදනා නාශක පෙති 400 කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

වෙනත් අයෙකුගේ ඖෂධවේදී සහතිකයක් භාවිතා කරමින් මෙම ෆාමසිය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණයවී ඇතැයි පොලීසිය පවසන අතර මෙහිදී කලක පටන් මත් ලෝලීන්ට අනවශ්‍ය පරිදි ඖෂධ නිකුත් කොට ඇති බවටද සැක කරයි.

ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ෆාමසිකරු අත් අඩංගුවට ගැනීම පිනිස උප පොලිස් පරීක්ෂක ලහිරු ඔසද මහතා සහ කොස්තාපල් මධූෂ (32522) කටයුතු කොට ඇති අතර සැකකරු ඊයේ (6) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *