හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම

උපුටාගැනීම බීබීසී sinhala

හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම

ප්‍රේමලාල් ජයසේකර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.

එම අධිචෝදනාවලට ඔවුන් තිදෙනා වරදකරුවන් බව අධිකරණය තීන්දු කළේය.

කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.

චෝදනාව කුමක්ද?

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම ඔවුන් තිදෙනාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පැවසීය
ඡායාරූප ශීර්ෂ වැකිය,ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පැවසීය

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරණු ලැබ තිබිණි.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.

ප්‍රේමලාල් ජයසේකරගේ ප්‍රතිචාරය

2015 ජනවාරි 05 වෙනි දින අදහස් දැක්වූ, එවක රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බව කියා සිටියාය.

ඒ අවස්ථාවේ එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ එවක විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ කහවත්තේ පිහිටි තම පක්ෂයේ කාර්යාලයක් කඩා දමා තිබූ බවය.

“හාර පන්සීයක වගේ සෙනගක් හිටියා. වාහනත් ගොඩක් තිබුණා. ඒ වෙලාවේ අපේ කාර්යාලයට ගහනවා දැක්කා. මගේ ආරක්ෂක නිලධාරීන් කිව්වා කට්ටිය ගොඩක් ඉන්න නිසා මෙතනිං යමු කියලා. අපි හරෝගෙන ගියා. ඒ යන කොටත් පොලු ගල් ගගහ ඉස්සරහට ආවා. අපි එතනින් ආවාට පස්සේ වෙච්ච දේවල් මම දන්නේ නෑ,” නියෝජ්‍ය ඇමතිවරයා එවක පවසා තිබිණි.

අදාළ වෙඩි තැබීමෙන් පසුව ජනතාව වීදි බැස කහවත්ත නගරයේ ඉදි කර තිබූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තොරණ සහ කටවුට් කඩා දමා ඒවා ගිනිබත් කළ බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *