හිඟමන් යදින වේදිකාව

හිඟමන් යදින වේදිකාව

මැණික් කර්මාන්තයේ නිරත වන අයට පතලක වැඩ අවසන් වූ පසු බොහෝ දුක්බර නැතහොත් රසබර කතා රැසක් පවතී. ක්‍රිකට් සංචාරයකට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ද එවැනි කතා ගොන්නක් ඉතිරිවේ. මැතිවරණ කාලයට දේශපාලනඥයන්ට ද දුක්බර හා රසබර ඉතිහාසයක් එකතුවේ.

මේ දිනවල රූපවාහිනී නරඹන මෙරට පේ‍්‍රක්‍ෂකයන්ට ද දේශපාලන ජවනිකා රැසක් දැකගත හැකිය. ඒ අනුව ඇතැම් අපේක්‍ෂකයෝ වේදිකාවේ කවි කියති. තවත් සමහරුන් සිංදු කියයි. හොඳට හෝ නරකට මෙවර දේශපාලන රැස්වීම් අවසානයේ සංගීත සංදර්ශන නොමැත. එසේ තිබුණේ නම් බොහෝ අපේක්‍ෂකයෝ ගායකයෝ වෙති. මහජන නියෝජිතයා බහුවිධ හැකියාවන්ගෙන් යුක්තවීම ජාතියකට වැදගත්ය. එහෙත් බල්ලගෙ වැඩේ බූරුවා කරන්නට යාමෙන් සංගීත සංදර්ශනවල අනාථවන දේශපාලනඥයන් අපේ රටේ ජනතාව ඕනෑතරම් දැක තිබේ.

කවියෙන් හා කවි කොලයෙන් මැතිවරණ සටන ගෙනගිය ඉතිහාසයක් ද අපේ රටේ පවතී. ඒ එක්දහස් නවසිය පනහ හැට දශක වලදීය. කවියෙන් සිය ප‍්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාම මෙන්ම තමන්ගේ තරගකරුවන්ගේ ප‍්‍රතිපත්ති කවියෙන්ම විවේචනය කිරීම එහිදී සිදුවිය. මෙය එක්තරා ලෙසකට සුන්දර මතකයකි. අදකාලේ මෙන් අතේ පයේ හයිය පෙන්වන වාතාවරණයක් එකල නොවීය. ඒ වෙනුවට කවියෙන් සියලූ යෝජනා චෝදනා ඉදිරිපත් කිරීමයි සිදුවූයේ.
වසර කිහිපයක සිට අපේ රටේ සංගීත වේදිකාවේ අඬන ගායකයන් දැකගත හැකිය. ප්‍රේමයෙන් පරාජය වූ ඔවුන් ගායනා කරන්නේ ඇඬෙන ගීතයි. මෙවැනිම අඬන පිරිසක් මෙවර මහා මැතිවරණ වේදිකාවේ ද දැකගත හැකිය. එක් අයෙකු පසුගිය කාලයේ තමන් මහින්ද රාජපක්‍ෂ මහතා හැර නොගිය අයෙකු බව පවසමින් හඬා වැටෙයි.

මොණරාගලින් තරග කරන ඔහු කියාසිටින්නේ තමන් වෙනත් කණ්ඩායම් සමඟ සන්ධානගත වූයේ නැති බවයි. ඔහු හඬා වැටෙන අයුරු රූපවාහිනියේ දුටු කාන්තාවක කියා සිටියේ ‘‘හපොයි පිරිමිකමටත් ලැජ්ජයි” යනුවෙනි. ඒ ගමක තේ කඩයක මුදලාලි හාමිනේ කෙනෙකු රාත්‍රී ප්‍රවෘත්ති නරඹමින් කී කතාවකි.

තවත් අපේක්‍ෂකයෙකු හඬාවැටුනේ කාන්තාවන් විඳින දුකගැන සිහිපත් කරමිනි. පලා විකුණන කාන්තාවක ගතකරන දුක්ඛිත ජීවිතය ගැන ඔහුට ඇඬෙන තරමටම දුකක් ඇති වූයේ කෙසේද? මෙතෙක්කල් ජීවත්වූයේ ශ්‍රී ලංකාවේදැයි කෙනෙකුට සැකයක් මතුවුවහොත් එය අරුමයක් නොවේ.

මෙවැනි රසබර කතා අතරේ ඇතැමුන් පොරොන්දු ලොරිපිටින් වේදිකාව මත හලන ආකාරයක් ද දැකගත හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනුයේ එක් අයෙකුට රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන බවය. ඔහුට දෙවෙනි වීමට අකමැති සජිත් ප්‍රේමදාස මහතා කියාසිටිනුයේ තමන් රුපියල් විසිදහසක් ලබාදෙන බවය. එහෙත් මේ දෙදෙනාටම අමතක වී ඇත්තේ තමන් මහා භාණ්ඩාගාරය හිස් කළ බවය. සජිත් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථීර තැන්පතුවට ද තට්ටු කළ බව දැන් දැන් කියවේ.

අනුර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ වන්නේ ආණ්ඩු ගණනාවකින් හොරකම් කළ සියලු ධනය ජාතිය සතුකරන බවය. එහෙත් එය මේ කපේට සිදුවේදැයි සැක සහිතය. හේතුව මෙතෙක් එවැනි ධනයක් ජාතියට හිමිවී නැති බැවිනි. හෙටට ද එවැන්නක් සිදුවේදැයි සැක සහිතය. ඒ අනුව ඔහුගේ ප්‍රකාශය ද සැබෑ නොවන සිහිනයකි.

මැතිවරණ වේදිකාවේ මෙවැනි දෑ සිදුවන අතරේ ප්‍රායෝගික වැඩපිළිවෙල රැසක් ඉදිරිපත් කරන අය ද දැකගත හැකිය. ගම්පහින්, පොහොට්ටුවෙන් තරග කරන නිමල් ලාන්සා ඒ අතින් අපූරු යෝජනාවක් ඉදරිපත් කරයි. ඔහු කියාසිටිනුයේ ස්වයං රැකියා ශක්තිමත් කර ගෙදර සිට වැඩකරන ජනතාවක් ගොඩනැගිය යුතු බවය. එහි යම් හරයක් පවතී. හේතුව මහ ලොකු අධ්‍යාපනයක් නැතුව ද ස්වයං රැකියාවක නිරත විය හැකිය.

මූලික ප්‍රාග්ධනය අවමය. මව ද පියා ද ගෙදර සිටින නිසා පවුල් සංස්ථාව ද ශක්තිමත්ය. අවශ්‍ය වන්නේ ඔවුන්ට නිසි පුහුණුව ලබාදී වෙළෙඳපොලක් නිර්මාණය කරදීමය.
වර්තමානයේ චීනය තුළ ක්‍රියාත්මක වන්නේ ද මීට සමාන ක්‍රමයකි. චීනයේ සෑම නිවසක්ම නිෂ්පාදනාගාරයකි. ලෝකයටම අවශ්‍ය නිෂ්පාදන චීනයේ නිවාස තුළ සිදුකෙරේ. එරට රජය සිදුකරනුයේ එම නිෂ්පාදනවලට අවශ්‍ය වෙළෙඳපොල සකස්කරදීම හා නිෂ්පාදකයන්ට අවශ්‍ය පහසුකම් සැළසීම පමණි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ ඉදිරියේ දී අපේ රටේ ද මේ පහසුකම් කුඩා නිෂ්පාදකයාට ලැබෙන තත්ත්වයකුයි පවතිනුයේ. ඒ අනුව නිමල් ලාන්සාගේ උත්සාහයේ ප්‍රතිඵලය දෙගුණ තෙගුණ වනු ඇති.

ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් නොව පාඨමාලා ආදිය ද නිමල් ලාන්සා මේ වනවිට ක්‍රියාත්මක කරයි. ඒ අනුව කටින් බතල හිටවන අයට වඩා ලාන්සා ප්‍රායෝගික නායකයෙකි. ඒ අනුව ඔහු, අත්සන් විසිඑක් දහසක් තැබූ බව කියන නායකයන් මෙන් විහිළු සපයන්නෙකු ද නොවේ.

ධීවරයාට බිලී පිත්තක් දෙන්න, ගොවියාට උදැල්ලක් දෙන්න උත්සාහ දරණ නිමල් ලාන්සා වේදිකාවේ හඬන අයට වඩා වෙනස් වන්නේ මේ හේතුවෙනි. දුම්රියේ, බස්රියේ ගී ගයා කීයක් හෝ සිඟාකන අයමෙන් වේදිකාවේ ගී ගයමින් මනාප එකතු කරන දේශපාලනඥයින්ට ද වඩා අද රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික මහජන නියෝජිතයන් පමණි. එවැනි අය තෝරන සබුද්ධික ජනතාව කෙතරම් අපේ රටේ සිටින්නේදැයි අගෝස්තු 5 වනදා දැනගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *