සේනා තවදුරටත් ව්‍යාප්ත වෙයි ද??

සේනා තවදුරටත් ව්‍යාප්ත වෙයි ද??

සේනා දළඹු වසංගතය නුවරඑළිය හා යාපනය දිස්ත්‍රික්ක හැර අනෙක් සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව තිබේ.

මෙරට බඩඉරිඟු වගාබිම් වනසන සේනා දළඹුවන් ගැන කිසිදු මාධ්‍යයක් අවධානය යොමුකර නොතිබූ පසුබිමක අද දෙරණ පසුගිය දෙසැම්බර් 22 වැනිදා පළමුවරට ඒ ගැන රටට අනාවරණ කළේ කෘෂි බලධාරීන්ටත් අනතුරුඅඟවමිනි.

ඒ වන විට සේනා දළඹුවන් ගැන වාර්තාවුණේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම්වලින් පමණයි.

ඉන් පසුව පොළොන්නරුව, මොණරාගල ,කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල,මාතර යන දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත වුණු සේනා දළඹු වසංගතය ඊයේ වන විට බදුල්ල බඩඉරිඟු වගාබිම් වෙතත් පැතිර ගොස් තිබුණි.

ඒ අනුව මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් තුන්දහසක් වන මෙවර අපේක්ෂිත වාර්ෂික බඩ ඉරිඟු අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහස් නවසියයකට ආසන්න ප්‍රමාණයක් එනම් 30% ක්ම මේ සේනා දළඹු ව්‍යසනය නිසා රටට අහිමිවීමේ අවදානමක පවතියි.

මෙවැනි තත්ත්වයක් තුළ අද වන විට මාතර දිස්ත්‍රික්කයේ හක්මන, යටියන, මාලිම්බඩ යන ගොවිජන සේවා බල ප්‍රෙද්ශ තුනෙහි බඩ ඉරිඟු වගාවලටද මේ වන විට සේනා දළඹුවන් ව්‍යප්ත වී තිබේ.

එම ප්‍රදේශ වල බඩ ඉරිඟු නියර වගාවක් ලෙස පවත්වාගෙන යන නිසා සේනා දළඹුවන් වී වගාවටද බෝවීමේ අවදානමක් මතුව තිබේ.

පවතින තත්ත්වය හමුවේ හක්මන කැබලියපොල ඇතුළු ප්‍රදේශ වල ගොවීන් දැනුවත් කිරීමේ හා වගා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද සිදුකරනු ලැබීය.

එහිදී සේනා දළඹුවන් හමු වූ වගාවන් විනාශ කිරීමටද පියවර ගැණුනි.

මේ අතර සේනා දළඹුවන් හේතුවෙන් බඩ ඉරිඟු වෙළෙඳුන් හා අතමැදියන්ගේ ජීවන වෘත්තියද මේ වන විට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ අනූව දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගය දෙපස බඩ ඉරිඟු වෙළෙඳ සැල්ද වැසී ගොස් තිබේ.

කෙසේ වෙතත් අමෙරිකන් හා පැසිෆික් 984 බඩ ඉරිඟු ප්‍රභේද සඳහා සේනා දළඹුවන්ගෙන් හානි සිදුවීමේ ප්‍රවණාවයේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පෙන්වා දෙයි.

මේ අතර සේන දළඹු උවදුරට ගත හැති කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් ගන්නෝරුව කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය.

මේ සඳහා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු, වාරි මාර්ග අධ්‍යක්ෂවරු, මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්
පිරිසක් එක්ව සිටියහ.

උපුටා ගැනිම–අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *