සිංහල අවුරුද්දෙන් පසු රට හොඳ මාවතකට ගේනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

සිංහල අවුරුද්දෙන් පසු රට හොඳ මාවතකට ගේනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

ජීවන බර වැඩිවීම නිසා ජනතාව ආණ්‌ඩුවට රිදවූවා
ජනතා මතය අනුව ආණ්‌ඩුව හැසිරිය යුතුයි

සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව රටේ ආදායම වර්ධනය කෙරෙන ක්‍රියාමාර්ග සඳහා යොමු වෙමින් රට ඉදිරියට ගෙන යැමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෑගල්ල දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට, බෝධි ප්‍රාකාරය සහ ඝණ්‌ඨාර කුලුන විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් පෙරේදා (15 දා) රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

අද මෙම විහාරස්‌ථානයට පැමිණීමට ලැබීම මම මහත් පිනක්‌ ලෙස සලකනවා. රන් වැට විවෘත කිරීම සඳහා සහභාගිවීමට ලැබීමද ඉතා වැදගත්. මේ සද් ක්‍රියාවට දායක වූ ජගත් කරුණාරත්න මහතාත්, එතුමාගේ සහෝදරයන් සහ පියතුමන් මා හොඳින් හඳුනනවා. බියගම සංවිධායකවරයා වන ලෙස එදා මට ආරාධනා කළේ කේ. ඩී. ඩැනියෙල් මැතිතුමායි. එතුමා ඇතුළු කණ්‌ඩායමක්‌ මට ඒ ආරාධනය කළා. ඔවුන් මට මැතිවරණය ජයග්‍රහණය කිරීමට උදව් කළා. ඒ වගේම මම ජයග්‍රහණය කරන කාලයෙත්, පරාජයට පත්වන අවස්‌ථාවෙත් ඔවුන් මා සමඟ හිටියා. එය ඉතා වැදගත්. අපි අතර මෙම සමීප මිත්‍රත්වය ඇති වුණේ ඒ හරහායි.

මේ හේතුවෙන් එම මහතාත් මහත්මියත් සිහිපත් කරමින් මෙම රන් වැට විවෘත කිරීම, කරුණාරත්න පවුල වෙනුවෙන් මම සතුටින් සිදු කරනවා. රුවන් විජයවර්ධන මහතාත් මෙම ස්‌ථානයට පැමිණ සිටිනවා. මම මෙම ප්‍රදේශයට පැමිණෙන විට කල්පනා කළේ මීදෙණිය ගම අයත් වන්නේ කුමන ප්‍රදේශයටද යන්නයි. අප සිටින්නේ කෑගල්ලේ මායිමේ බව මට අවබෝධ වුණේ මෙම ස්‌ථානයට පැමිණීමෙන්a පසුවයි. එම නිසා මෙම ප්‍රදේශයට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.

මෙම සභාවේදී නායක ස්‌වාමීන් වහන්සේගේ අනුශාසනාවට මම ඇහුම්කන් දුන්නා. උන්වහන්සේගේ ගමේ පන්සලේ වටිනාකම ගැන අගය කළා. බෞද්ධාගම ආරක්‌ෂා වුණේ ගමේ පන්සල හරහායි. රට පුරා ප්‍රමාණයෙන් විශාල විහාරස්‌ථාන තිබීමට හැකියි. නමුත් අවසානයේ සියලු දෙනාම පිහිට පතන්නේ ගමේ පන්සලෙන් බව මතක තබාගත යුතුයි. ගමේ පන්සලේ ශක්‌තිමත් දායක සභාවක්‌ සිටිනවා නම් ඔවුන් ගමේ පන්සලේ හාමුදුරුවන්ට සහයෝගය ලබා දෙනවා. එවිට එය ගමට ශක්‌තියක්‌ වනවා. දේශපාලනිකව හෝ වෙන කුමන ආකාරයකින් ජනතාව බෙදී සිටියත් ගමේ පන්සලේ දායක සභාව හරහා ගම වෙනුවෙන් එකට වැඩ කිරීමේ හැකියාව ඇති වෙනවා. අප එම ශක්‌තිය ආරක්‌ෂා කරගත යුතුයි.

සිංහල බෞද්ධයන් ලෙස සියල්ලන් සමඟ එකට එක්‌ව වැඩ කිරීමට හැකි වාතාවරණයක්‌ අපි ඇතිකර ගත යුතුයි. සිංහල බෞද්ධයන් බහුතරයක්‌ සිටින රටක්‌ ලෙස රටේ වෙනත් ආගමික කණ්‌ඩායම් අප කෙරේ දක්‌වන විශ්වාසය තහවුරු කිරීමටත් අප කටයුතු කළ යුතුයි. එම විශ්වාසය බිඳ වැටෙන විට රට අඩපණ වෙනවා. එම නිසා අප එම විශ්වාසය සෑම විටම ආරක්‌ෂා කළ යුතුයි.

පසුගිය සතියේ මහනුවර, දිගන තෙල්දෙණිය ආදී ප්‍රදේශවල කලහකාරී තත්ත්වයක්‌ ඇතිවුණා. අපිs එම විශ්වාසය නැවත ඇති කළ යුතුව තිබෙනවා.

1977 දී රටේ ගම්මානවල මෙවැනි දියුණුවක්‌ ඇතිව තිබුණේ නැහැ. විදුලිය, නිවාස, ආදිය මෙතරම් තිබුණේ නැහැ. බියගම ආදී ප්‍රදේශවලත් තත්ත්වය එසේමයි. කොළඹ හැර වෙනත් ප්‍රදේශවල එහි දියුණුව පැතිරී තිබුණේ නැහැ. නමුත් පසුගිය වසර 40 තුළ ඇතිවූ විශාල සංවර්ධනයේ ප්‍රතිලාභ ගම්මාන වෙත ලැබී තිබෙනවා. අද ගමට විදුලිය නිවාස, පාසැල් ආදිය ලැබී තිබෙනවා. එදාට වඩා වැඩි සංවර්ධනයක්‌ ඇතිවී තිබෙනවා. කඩසාප්පු, වාහන, මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ ආදී විවිධ වාහන ජංගම දුරකථන ආදිය ගමට පැමිණ තිබෙනවා. ඒ කාලයේ බියගම ප්‍රදේශයේදී දුරකථන සොයා ගත හැකි වුණේ 4 ක්‌ – 5 ක්‌ පමණයි. ඒ කොළඹ සිට හැතැප්ම 10 ක්‌ පමණ ඉතා ආසන්න දුරකින් තිබූ බියගම එදා තත්ත්වයයි. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී විශාල දියුණුවක්‌ ඇතිවී තිබෙනවා.

එවැනි විශාල දියුණුවක්‌ ගමේ තිබුණත් තවම ගම තුළ දුප්පත්කම් තිබෙනවා. ගමේ හොඳ ආදායම් මාර්ග,

රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්, වැඩිහිටියන් සිටිනවා. තම කෘෂි කර්මාන්තයෙන් ලැබෙන ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය අය සිටිනවා. විවාහයට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා ගන්නේ කෙසේද යන ගැටලුව තරුණයන්ට තිබෙනවා. ගමේ කොටසකට මෙවැනි ගැටලු තිබෙනවා. අප විශාල සංවර්ධනයක්‌ ආරම්භ කර තිබෙන්නේ එම කොටසට අවශ්‍ය ආදායම් ලබා දීමටයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමටයි. අප 1977 දී සංවර්ධනය ආරම්භ කරන විට එවැනි ක්‍රමයක්‌ චීනයේ තිබුණේ නැහැ. මම 1979 දී චීනයට යන විට එහි තත්ත්වය මට හොඳින් මතකයි. වාහන බයිසිකල් ආදිය එදා එහි තිබුණේ නැහැ. නමුත් අද අපි චීනයට ගියොත් ඔවුන්ගේ මහාමාර්ග වාහනවලින් පිරී තිබෙනවා. ඔවුන්ගේ නගර බටහිර රටවල නගර මෙන් දියුණු වී තිබෙනවා.

අපි ඒ කාලයේ ඩුබායි ගුවන්තොටුපළට යන විට එහි තිබුණේ ගොඩනැඟිලි කිහිපයක්‌ සහ ටකරං ගැසූ මඩු දෙක තුනක්‌ පමණයි. ටකරං ගැසූ මඩුවට ගිය විට රස්‌නය වැඩි නිසා අපි ගුවන් යානයෙන් නොබැස එහිම රැඳී සිටියා. එදා එම නගරවල තත්ත්වය එසේයි. අද එම නගරවල විශාල දියුණුවක්‌ ඇති වී තිබෙනවා. අපි කුඩා කාලයේ සිංගප්පූරු ජාතිකයන් මෙහි පැමිණ කොළඹ වරායේ වැඩකළා. නමුත් අද ශ්‍රී ලංකාවේ මිනිසුන් සිංගප්පූරුවේ වරායන්වල රැකියා කරනවා. එදා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මැලේසියාවේ, සිංගප්පූරුවේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණියා. නමුත් අද අපි සිංගප්පූරුවට ගොස්‌ සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා.

අපේ රටේ වසර 30 ක යුද්ධයක්‌ ඇතිවී තිබුණා. එම යුද්ධය නිසා අප පසුබැස්‌සා. නමුත් දැන් අප සංවර්ධනය ගමට ගෙනැවිත් ගමේ සංවර්ධනය ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. දැන් අප එම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. පළමු වසර 2 අපි එම වැඩකටයුතු ආරම්භ කළා. එය තරමක්‌ අපහසු වසර 02ක්‌ වුණා. රටේ ණය ගෙවීමටත් අනෙක්‌ ප්‍රශ්න විසඳීමටත් එම කාලය ගතවුණා. ජනතාවට ඉවසීම අඩු වුණා. එහි ප්‍රතිඵලය අප ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී දුටුවා. ඔවුන් අපට විරුද්ධව ඡන්දය භාවිත කළා. ඊට හේතුව අප කළ ප්‍රකාශ ගණනාවක්‌ අප ක්‍රියාවට නංවා නොතිබීම සහ ඒවා ක්‍රියාවට නංවන වේගය මදි වීමයි. ජීවන බර අප පැවසූ ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. පොහොර හිඟයක්‌ ඇතිවුණා. මෙවැනි ආඩුපාඩුකම් පැවතුණා. එය ආණ්‌ඩුවට බලපෑමක්‌ වුණා. ජනතා මතය අනුව හැසිරීමට අප ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ ඉල්ලීම අනුව ඉදිරියට යැමටත් අප දැනගත යුතුයි.

දේශපාලනය යනු පිල් දෙකක තුනක කඹඇදිල්ලක්‌ නොවේ. රටේ ජනතාවට සේවය කරන්නේ කෙසේදැයි අප අවබෝධ කරගත යුතුයි. රටේ සියලු දෙනාම කල්පනා කරන්නේ දියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. අප සිදුවූ එම වැරැදි නිවැරැදි කරගනිමින් ඉදිරියට යා යුතුයි.

මැතිවරණයෙන් මාසයක්‌ ගිය පසු අපට මහනුවර කලහකාරී සිද්ධියට මුහුණ දීමට සිදුවුණා. එම තත්ත්වය පාලනය කරමින් දැන් අප ඉදිරියට යා යුතුයි. සිංහල අලුත් අවුරුදු සමය වන විට මේ රටේ ජනතාවට බඩු භාණ්‌ඩ අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතුයි. අතේ මුදල් තිබිය යුතුයි. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු ආයෝජකයන් ගෙන්වා ගැනීමෙන් පසු රටේ ජනතාවට රැකියා ලබා දීමේ වැඩසටහන ආරම්භ කරනවා. එවිට කර්මාන්තශාලා, හෝටල්, වරාය, ගුවන්තොටුපළ සංවර්ධනය ආදිය සඳහා විවිධ කටයුතු ආරම්භ කරනවා. අප පළමුවෙන්ම දේශීය හා විදේශීය ආයෝජකයන් හරහා ආයෝජන මෙරටට ගෙන්වා ගනිමින් ඔබේ අතට මුදල් ලැබෙන ක්‍රමයක්‌ රට වෙනුවෙන් සකස්‌ කරනවා. එසේ නම් මේ වසරේ විශාල ආයෝජන ප්‍රමාණයක්‌ ගෙන්වා ගනිමින් කර්මාන්ත හා සේවා ගණනාවක්‌ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩ කටයුතු ඉදිරියට වසර 2 – 3 ක්‌ පවත්වාගෙන යන විට ඒවා සාර්ථක වනවා. 2020 පමණ වන විට එහි ප්‍රතිඵල ලබා ගැනීමට අපට හැකි වෙනවා. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී මහවැලිය, වෙළෙඳ කලාප ඇතිකිරීමට අපට හැකිවුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ක්‌ ඇති කිරීමට හැකියාව ලැබුණා. එවැනි විශාල සංවර්ධනයක්‌ නැවත ඇති කිරීමට අප ක්‍රියා කරනවා. අදාළ අමාත්‍යාංශ, ආයෝජන මණ්‌ඩලය, දකුණු සංවර්ධන අමාත්‍යාංශය, වයඹ සංවර්ධන අමාත්‍යාංශය ආදිය මේ සම්බන්ධයෙන් මූලික වැඩකටයුතු ආරම්භ කර එම විශාල දියුණුව මෙම ප්‍රදේශවලට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ගමට සංවර්ධනය ගෙන ඒමට නම් අප එම වැඩ කටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට ගමේ සැලකිය යුතු ආදායමක්‌ නොමැති අයගේත් ආදායම් වර්ධනය වෙනවා. එවිට ඔවුන්ටත් අනාගතයක්‌ ගැන විශ්වාසයක්‌ ඇති වෙනවා.

එම විශ්වාසය ඇති කිරීමට අප පළමුවෙන්ම බිම් මට්‌ටම සැකසුවා. එම අත්තිවාරම මත කටයුතු කිරීමයි දැන් සිදු කළ යුත්තේ. නමුත් එම අත්තිවාරම් දැමීම සඳහා ගත වූ කාලය වැඩි බවත්, ඊටත් වඩා වේගයෙන් ඉදිරියට යා යුතු බවත්, එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ගැටලු අඩු කරගත යුතු බවත් ජනතාව පැවසුවා. එසේ නම් උද්ධමනය පාලනය කිරීමට, සාධාරණ මිලක්‌ තීරණය කිරීමට, ජනතාව අත මුදල් වැඩි ප්‍රමාණයක්‌ ඉතිරි කිරීමට ආදී වැඩසටහන් වෙත අපේ අවධානය යොමුවී තිබෙනවා. අනාගතයේ දී රට වෙනුවෙන් දියුණුවක්‌ ඇති කිරීමටත් ඒ දියුණුව හරහා ඔබට සෙත සැලසීමටත් අප බලාපොරොත්තු වෙනවා.

රටේ කර්මාන්ත ශාලා, හෝටල් ආදිය වැඩි වන්නේ නැත්නම් කඩ සාප්පු වරාය, ගුවන්තොටුපළ ආදිය දියුණු වන්නේ නැත්නම් භෝග අපනයනය වර්ධනය වන්නේ නැත්නම් අපට ආදායම් වර්ධනය කරනවා යෑයි පැවසීමට නොහැකියි. එම නිසා අපි රටේ ආදායම වර්ධනය කිරීමට මෙම සැලැස්‌ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම සැලැස්‌මේ බොහෝ වැඩකටයුතු දැන් අවසන් වී තිබෙනවා. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු එය ක්‍රියාවට නංවමින් රට ඉදිරියට ගෙන යැමට අප බලාපොරොත්තු වෙනවා. සියල්ලන්ටම අවශ්‍ය වන්නේ හොඳ අනාගතයක්‌, තම දරුවන්ට හොඳ අනාගතයක්‌ වැඩි ආදායමක්‌ ආදියයි. එම අරමුණු අප ඉටු කරනවා. ඒ සැලසුම් සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කරන්නේ නැහැ. ඉදිරියේ දී ඒ ඒ ස්‌ථානවලදී අප ඒ ගැන සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රටේ ඇතිවී ඇති නියඟය විශාල ප්‍රශ්නයක්‌ වී තිබෙනවා. කන්න 04 ක ගොවිතැන් කිරීමට නොහැකි වී තිබෙනවා. එයත් අපට මුහුණ දීමට තිබෙන විශාල ප්‍රශ්නයක්‌. අපට නියඟයට මුහුණ දීමට සිදු නොවුණා නම්, කෘෂි කර්මාන්තය සාර්ථක වූවා නම්, මීටත් වඩා හොඳ ආර්ථිකයක්‌ රට තුළ ඇති වීමට ඉඩ තිබුණා. අප ඒවාටත් විසඳුම් සොයා ගත යුතුයි.

මේ ස්‌ථානයට පැමිණීමෙන් මට ගම ගැනත්, ගමේ විහාරස්‌ථානය ගැනත් කතා කිරීමට අවස්‌ථාව ලැබුණා. මැතිවරණය අවසන් වීමෙන් පසුවත් මේ ආණ්‌ඩුව කරන්නේ කුමක්‌දැයි අපෙන් ඇතැමුන් විමසනවා. නමුත් රැකියා බිහිකරන, ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර 2 – 3 තුළ අප ඉදිරියට යනවා. එහිදී ප්‍රතිඵල ලබාගත හැකියි. තරුණ තරුණියන් විශාල කොටසකට රැකියා පුහුණුව ලබා දෙමින් ඔවුන් රැකියා වෙත යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගන්නවා. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට තවත් මුදල් ලබා දෙනවා. ඔබ වෙනුවෙන් නිවාස ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ අපේ වැඩසටහනෙන් ඉතා සුළු ප්‍රමාණයක්‌ බවත් මම ඔබට පැවසිය යුතුයි.

මෙම විහාරස්‌ථානය දියුණු කිරීමට අපේ නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ගන්නා උත්සාහය අපි අගය කරනවා. ඒ සඳහා ජගත් කරුණාරත්නයන් පවුලේ අනෙක්‌ අයත් ගන්නා පියවරවලටත් අප අවසාන වශයෙන් ස්‌තුති කරනවා.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *