සාකච්ඡා අසාර්ථකයි— තැපැල් වර්ජනය දිගටම

සාකච්ඡා අසාර්ථකයි— තැපැල් වර්ජනය දිගටම

තැපැල් සේවකයන්ගේ හඬට ආණ්‌ඩුව කන්නොදෙන්නේ නම් ඔවුන්ගේ අඹු දරුවන් සමඟ ලක්‍ෂයක ජනතාවක්‌ පාරට බස්‌සවා තම ඉල්ලීම්වලට සාධාරණයක්‌ ලැබෙන තුරු තැපැල් වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් සමඟ ඊයේ දහවල් පැවැත් වූ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් සමඟ තැපැල් සේවක ඉල්ලීම් දිනාගැනීම සඳහා ඊයේ දහවල් පැවැත් වූ සාකච්ඡා සම්පූර්ණ අසාර්ථක වූ බව ද හෙතෙම කීය. ආණ්‌ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලට කන් නොදී තැපැල් සේවකයන් රවටමින් කල් මරණ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට යෑයි ද හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ඒ මහතා මෙසේ ද කීය.

අපි ආණ්‌ඩුවේ මේ උගුලට හසුවන්නේ නැහැ. මේ සටන අවසන් කරන්නේ අපේ ඉල්ලීම් දිනාගැනීමෙන් පසුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට යැමට පෙර තැපැල් වෘත්තීය සමිතිවල සේවකයන් 3000 කට අධික පිරිසක්‌ කොටුව දුම්රිය ස්‌ථානය වෙත පැමිණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයකට වැඩි කාලයක්‌ විරෝධතා ව්‍යාපාරයක නිරත වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය දක්‌වා තැපැල් වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ ගමන් කළහ. එහිදී පොලිසිය මාර්ග බාධක යොදමින් පෙළපාලිය නතර කර වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකුට පමණක්‌ ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථාව ලබාදෙනු ලැබීය.

සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයන් සේවකයන් දැනුවත් කරමින් පැවසුවේ සාකච්ඡා අසාර්ථක වූ බවය. ඒ අනුව අද (19 වැනිදා) සිට තවත් වෘත්තීය සමිති එක්‌කරගෙන වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද චින්තක බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීය.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *