සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීම යළි අරඹයි

සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීම යළි අරඹයි-

මැතිවරණ කොමසාරිස්ගේ සීමා ඉවතට

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රයේ

නියුතු වුවන්ට සහන සැලසීම යළි අරඹන්න.

  • සංචාරක ඇමතිගෙන් උපදෙස්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රයේ
නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා
පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම කඩිනම්
කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඒ
අනුව ඉදිරි සති කිහිපය තුල ඊට අදාල ගෙවීම් හා සෙසු කටයුතු අවසන්
කරන ලෙසද ඇමතිවරයා ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක
මාර්ගෝපදේශකයන්ට රු.20,000ක දිමනාවක් හා සංචාරක රියදුරන්ට
රු.15,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබිණි. මැතිවරණ
කාල සීමාවේදී මැතිවරණ කොමිසාරිස්වරයා අමාත්‍යංශයේ ලේකම්වරයාට
නියෝග කලේ එම මුදල රු.10,000කට සීමා කරන ලෙසයි.
සංචාරක සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (13) සිය රාජකාරි
ඇරඹීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් මුල්ම උපදෙස
වූයේ එම සීමා මේ වනවිට බලාත්මක නොවන නිසා නිසිපරිදි අදාල
දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී චානක
මහතා ද එහිදී වැඩ භාරගත්තේය. වැඩ භාර ගැනීමෙන් පසු කැබිනට්
ඇමතිවරයා හා රාජ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවකටද එක්විය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ කටුනායක
ගුවන්තොටුපල කඩිනමින් සංචාරකයන් සඳහා විවෘත කිරිමට අපේක්ෂා
කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.
” මට භාර දීලා තිබෙන අමාත්‍යාංශය රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු
කරන්නේ තරුණ ඇමතිවරයෙක්. මේ රජය කැබිනට් මණ්ඩලය තෝරද්දී
තරුණයන්ට වැඩි අවස්ථාවක් දීලා තියෙනවා. මහින්ද මහත්තයා පැරදුනාට
පස්සේ එතුමාව මේ රටේ නායකත්වයට ගේන්න සුවිශේෂ අරගලයක් කලා.
ඒ සඳහා එකට සටන් කල සටන් සගයෙක් තමයි ඩී.වී.චානක රාජ්‍ය
ඇමතිතුමා. ජනාධිපතිතුමා විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිලිබඳ
සුවිශේෂ විශ්වාසයක් මේ රටේ ජනතාව තුල ඇතිවෙලා තියෙනවා. ඒ
විශ්වාසය තවදුරටත් තහවුරු වන ආකාරයට මේ සංචාරක ගුවන්සේවා
කේෂ්ත්‍ර දියුණු කරන්න අපේක්ෂා කරනවා. ජනතාවගේ ඡන්දයට
ගරුත්වයක් ලැබෙන සේවාවන් අපි රටට හා ජනතාවට ලබාදෙනවා.
කොවිඩ් 19 වසංගතය නිසා මෙරට සංචාරක කේෂ්ත්‍රය බිදවැටුනා.
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සංචාරක
කේෂ්ත්‍රයට වැඩි අවදානයක් යොමු කලා. රජයේ ප්‍රතිපත්ති අනුව බිඳවැටී
ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් යථා තත්වයට පත් කරනවා. ඒ
සඳහා අවශ්‍ය සැලසුම් අප සකස් කලා. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්
සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වු අයට සහන සැලසීමට අපි කැබිනට්
මණ්ඩලය හරහා විශේෂ වැඩපිළිවලක් හදුන්වා දුන්නා. මැතිවරණය නිසා
එය යම් පසුබෑමකට ලක් වුවත් එය දැන් නැවත ක්‍රියාත්මක කරනවා.
මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන්. අපි සංචාරක
කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට රජයේ අනුමත කල සහන කඩිනමින්
ලබාදෙනවා. ඒ සඳහා දැනටමත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවශ්‍ය
උපදෙස් ලබාදුන්නා.
අපි ගුවන්තොටුපල ඉතා ඉක්මනින් විවෘත කරනවා. විදෙස්ගත ශ්‍රමිකයන්
නැවත ගෙන්වා අවසන් වු වහාම සංචාරකයන් සඳහා ගුවන්තොටුපල
විවෘත කිරීමටයි සිදුවෙන්නේ. අපිට පැය 24 යි අවශ්‍ය කටුනායක
ගුවන්තොටුපල මෙහෙයුම් සම්පූර්ණයෙන් අරඹන්න.නමුත් සෞඛ්‍ය අංශයේ

උපදෙස් අනුවයි ඒක කරන්න වෙන්නේ. සෞඛ්‍ය අංශයේ එකඟතාවය පල
කර පැය 24ක් තුල අපි ගුවන්තොටුපල විවෘත කරනවා.
ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති
ඩී.වී.චානක මහතා –
සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කිරීම තමයි අපට පැවරෙන ප්‍රධාන
වගකීම. අද ලෝකයේ පවතින තත්වයත් එක්ක මේ කේෂ්ත්‍රයට බරපතල
අර්බුදයක් මතුව තිබෙනවා. අපේ රටේ කොරෝනා මර්දනයෙන් පලමු
තැනට පත්වෙලා තියෙනවා. සංචාරක හා ගුවන්සේවා කේෂ්ත්‍රය යළි
නංවාලීමට අප කටයුතු කරනවා. පහුගිය කාලයේ මේ අමාත්‍යාංශය
යටතේ තිබුණු ආයතන රැසක් කඩාවැටුනා. රැකියා අහිමිවීමේ තත්වයක්
ඇතිවුනා. අපි නැවත මේ කේෂ්ත්‍රය ගොඩගෙන රැකියා උත්පාදන
වැඩපිළිවලක් සකසනවා.
මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,
කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මාපා
පතිරණ මහත්වරු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *