ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ඓතිහාසික තීන්දුවක්‌ ගනීවි –

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ඓතිහාසික තීන්දුවක්‌ ගනීවි –

ශ්‍රී ල. නි. ප. යේ මධ්‍යම කාරක සභාවේදී මේ රටට වැදගත් වන ඓතිහාසික තීන්දුවක්‌ ගනු ඇතැයි රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පැවසී ය.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ දිවුරුම්පිටිය ආයුර්වේද මධ්‍යස්‌ථානයේ රෝහල් කමිටුව හා ප්‍රදේශවාසීන්ගේ සංවිධායකත්වයෙන් පැවැති හිසතෙල් ගෑමේ උත්සව අවස්‌ථාවට සහභාගි වූ මන්ත්‍රීවරයා හිසතෙල් ගා ගැනීමෙන් අනතුරුව රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ සිය අදහස්‌ පළ කළේ ය.

රට පෞද්ගලීකරණය කරගෙන යන විදියට මුළු රටම විකිණී අවසන් වෙන්නට වැඩි කලක්‌ ගතවෙන එකක්‌ නැහැ. රටට ආදරය කරන ශ්‍රී ල. නි. ප. යේ මන්ත්‍රීවරු මවුබිම බේරාගැනීමේ සටනට මුල්තැන දී කටයුතු කරනු ඇතැයි ද වාසුදේව නානායක්‌කාර මහතා විශ්වාසය පළ කළේය.

මේ උවදුරෙන් රට බේරගන්න තිබුණ හොඳම අවස්‌ථාව පසුගිය විශ්වාසභංග යෝජනාව පරාජය වීම නිසා වැළකුනා. එ.ජා.ප. යෙන් විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වෙන්න සිටි දහ දොළොස්‌ දෙනෙක්‌ මා සමඟත් සාකච්ඡා කරා, ඔවුන්ට අවශ්‍ය ආරක්‌ෂාව ලබාදීම පිළිබඳව ශ්‍රී ල. නි. ප. යේ නායකයන්ගේ තහවුරුවක්‌ නොලැබීම නිසා ඔවුන් අධෛර්යය වී පසුබැසීම නිසා රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත් වූ බව වාසුදේව මහතා පැවසීය.

මෙම අවස්‌ථාවට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපති තිලක්‌ රෝහණ ජයවික්‍රම මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්‌ ද සහභාගි වූහ.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *