ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටු කරමින් සහ රජයේ ආරාධනය නැවත පිළිගනිමින්, සෙනසුරාදා දින (2020 මාර්තු 28) චීනයේ ෂැංහයි සිට වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී. මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා තානාපතිවර‍ැන් වෙත සිදු කරන ලද පරිත්‍යාගයකි. මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන ලදී.

මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්ණාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ, නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය භාණ්ඩ මෙම තොගයේ අඩංගු වූ අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වල බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත. COVID 19 වසංගතයට එරෙහි රටක් ලෙස සටන් වදින මොහොතක ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා සේවය කරයි.

මෙම වෛයිරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී යාමේ සිටම, ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කරා පැමිණීමට පසුකම් සැලසීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. පසුගියදා ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාව සහ උපදෙස් පරදි ආපසු ගෙන්වා ගැනීමට සහ චීනයේ වූහාන් නගරයේ සිටි පිරිස ගෙන්වා ගැනීමට ද ගුවන් සේවා පහසුකම් සලසමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ජාතික මෙහෙවරක් ඉටු කරන ලදී.

මෙම අවස්ථාවේ දී ජාතික මෙහෙවරක් ඉටු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරිත්වය ඉමහත් ආඩම්බරයට පත්වන අතර COVID 19 වසංගතයට එරෙහිව සටන් කරන මොහොතක රටේ සාමූහික ප්‍රයත්නය සඳහා ආධාර අවශ්‍ය වන ඕනෑම ස්ථානයට ගුවන් සේවය අඛණ්ඩව ළඟා වීමට සූදානමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *