විධායකය අහෝසි කරන්න ජවිපෙන් ‘ව්‍යවස්‌ථා සංශෝධනයක්‌

විධායකය අහෝසි කරන්න ජවිපෙන් ‘ව්‍යවස්‌ථා සංශෝධනයක්‌

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සංශෝධනයක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස මෙය ගෙන එන අතර එය තම පක්‍ෂය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

එම යෝජනාව මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බව කී දිසානායක මහතා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගමැතිවරයාට එරෙහි
විශ්වාසභංග යෝජනාව භාරදුන් පසුව මෙම විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට භාරදෙන බව ද දිසානායක මහතා ඊයේ (19 දා) ජවිපෙ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ ය.

මහින්ද රාජපක්‌ෂ මහතා කිහිප අවස්‌ථාවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී ඇති නිසා මෙම විසිවැනි
සංශෝධනයට ඒ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය සහාය දෙනු ඇතැයි ද දිසානායක මහතා කීවේය.

එජාපය මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු ලබාදී ඇති නිසා මෙම
සංශෝධනයට ඔවුන්ට ද සහාය ලබා නොදී සිටිය නොහැකි බව කී දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේ ය.

විශ්වාසභංගය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවා නම් එම ක්‍රියාවලියෙන් පසුව අපි මෙම සංශෝධනය ගේන්න බලාපොරොත්තු
වෙනවා. නමුත් විශ්වාසභංග යෝජනාව මාස ගණනාවක්‌ ඇදෙනවා නම් අපි සංශෝධනය කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා.
සමහරු කියනවා විශ්වාසභංගය ව්‍යාකූල කිරීම සඳහා මෙම සංශෝධනය ගේන්න සූදානමක්‌ තිබෙනවා කියලා. එවැනි දෙයක්‌ කළ
නොහැකියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයත්, ව්‍යවස්‌ථා සංශෝධනයත් යනු ක්‍රියාවලීන් දෙකක්‌.විශ්වාසභංගයක්‌ එනවා නම්
අනිවාර්යයෙන්ම එයට ප්‍රමුඛතාව ලැබෙනවා. ඒ නිසා විශ්වාසභංගයට ඉඩදී තමයි අපි මේ සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙන්නේ.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *