වෑන් රථයක් අභිරහස් ලෙස ගිනි ගනියි

වෑන් රථයක් අභිරහස් ලෙස ගිනි ගනියි

බද්දේගම නගරයේ බයිසිකල් අමතර කොටස් අලෙවි සැලක් හා එහි තිබූ වෑන් රථයක් අභිරහස් ලෙස ඊයේ (16) අළුයම ගිනිගෙන තිබේ. ගිනි ගැනීමෙන් වෙළෙද සැලට රුපියල් ලක්ෂ අසූවකට (80,00000/-) අධික අලාභයක් සිදුව තිබෙන බව බද්දේගම පොලීසිය කියයි.
වෙළෙද සැලේ අයිතිකරු වන නිහතමානී, කුම්නේ, බද්දේගම ලිපිනයේ පදිංචි මංජුල සම්පත් නිරෝෂන් (40) නැමැති අය බද්දේගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පෙරේදා (16) අළුයම 12.50 ට පමණ ගින්න හටගෙන තිබේ. වෙළෙද සැලට යාබද කාමරයේ නිදාසිටි වෙළෙද සැල අයිතිකරුගේ මාමා වන අමරදාස නැමැති අයෙකුට රබර් පිච්චෙන ගදක් ඇති වී තිබීම මත ඇහැරී බලන විට වෙළෙද සැල ගිනි ගනිමින් තිබූ බව ඔහු විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ. පසුව ඔහු විසින් කෑගසා අසල්වැසියන්ට කතා කොට ගින්න නිවා දැමීමට උත්සාහ දරා ඇත.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසියටද දැනුම් දී ඇත. පොලීසිය ගාල්ල, නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයද ගෙන්වා ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත. වෙළෙද සැලට යාබදව ගරාජ් එකේ තවත් වාහන කීපයක්ම තිබී ඇති අතර ගින්න පැතිරීමට ප්‍රථම එම වාහන ඉවත් කිරීමටද බද්දේගම පොලීසියේ උපදෙස් පරිදි එහි අයිතිකරුවන් හා ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ.
බයිසිකල් අමතර කොටස් වෙළෙද සැලේ තිබූ වෑන් රථයක ඇතුලතින් ගින්න හටගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී බද්දේගම පොලීසිය තහවුරු කරගෙන තිබේ. මෙම ගින්න කඩා කප්පල්කාරී ක්‍රියාවක්ද යන්න හෝ ඉබේ හටගත් ගින්නක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂ පවත්වන බව බද්දේගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියදර්ශණ මහතා ප්‍රකාශ කළේය. ගින්න සම්බන්ධයෙන් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයද පරීක්ෂණ ආරම්භ කර තිබේ. වැඩි දුර පරීක්ෂණ සදහා වෑන් රථයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය පියවර ගෙන තිබේ.
මෙම වෑන් රථය වෙළෙද සැලේ හිමිකරුවන් විසින් ප්‍රථමයෙන්ම මිළ දී ගත් වාහනය බැවින් එය සිහි වටනයක් ලෙස ඔවුන් විසින් තබාගෙන තිබෙන බවද බද්දේගම පොලීසිය කියයි.
බද්දේගම පොලිස් ස්ථානාධිපති වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති අශෝක ප්‍රියදර්ශණ මහතා ඇතුළු බද්දේගම පොලීසියත්, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් දේශප්‍රිය (10416), පොලිස් කොස්තාපල් වරුන් වන පතිරණ (27108), ශාන්ත (66527) යන විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන්ද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *