වඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය අත් අඩංගුවට

වඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය අත් අඩංගුවට

වඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් දිවා කාලයේදී පොලිස් බල ප්‍රදේශ තුනක නිවාස ගණනාවකින් රන් අබරණ , මුදල් සහ විවිධ භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු වන අතර වඩුවැඩ කිරීම පිණිස යන බව පවසා නිවසින් පිටව ගොස් පිටත ප්‍රදේශයන්හි අතුරු මාර්ගවල ඇවිද යමින් දිවා කාලයේ කිසිවෙකුත් නොමැති නිවාස පිළිබඳ විපරම් කොට ඒවාට ඇතුලුවී සොරකම් කිරීම් සිදු කොට ඇති බව අනාවරණය වීයැයි පොලීසිය පවසයි.

පොලීසියට ලැබී ඇති තොරතුරක් මත යක්කල , මුදුන්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී වීරගුල , මීගහවත්ත සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශයන්හි සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අනාවරණයවී ඇති අතර නිවාස දහයකින් සොරාගත් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන් අබරණ , මුදල් , රූපවාහිනී යන්ත්‍ර , ඩ්රිල් යන්ත්‍ර ,පිත්තල පහන්, ජංගම දුරකථන, පිත්තල සරනේරු සහ ජල මෝටර් සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

මොහු දැඩි ලෙස හෙරොයින් භාවිතයට යොමුව ඇති බවත් ඒ සදහා දිනකට අවශ්‍ය රුපියල් 4000 ක පමණ මුදලක් සොයා ගැනීම පිනිස කලෙක පටන් සොරකමෙහි යෙදී ඇති බවත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු විසින් සොරා ගෙන තිබූ රන් අබරණ ඇතුළු භාණ්ඩ මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අලෙවි කොට තිබී සොයා ගැනීමට හැකි වු බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී බස්නායක මහතා සහ යක්කල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජී.එස්.ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක අමරසිංහ මහතා ඇතුළු සැරයන් අජිතානන්ද ( 65497 ) , කොස්තාපල් වරුන් වන චන්ද්‍රසිරි ( 93901) සහ සිරිවර්ධන ( 95393 ) යන නිලධාරීන් ක්‍රියාකොට ඇති අතර සැකකරු ඊයේ (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *