ලක්දිව මැටි කාර්මාන්තයේ අභිමානය///සියරට දේ සිරි සැප දේ

වැලිගම කුඹල්ගම රන්කුඹලන්ගේ ගමට ගියෙමි

කෙල්ලන් ලස්‌සනයි කවදත් කුඹලුන්ගේ

නැග්ගෙන් මදන විෂ මොකටද දඟලන්නේ

එක්‌කන් යන්න කවදාවත් බැරි වන්නේ

කොල්ලන් කුඹල් සමඟයි උන් සැනසෙන්නේ

මැටිගොඩ අනා සකපෝරුවේ තියන්නේ -අතකින් කරකවා ගෙන ඉදිකරන්නේ කැලයෙන් දර සොයා ගෙන ගිනි පිඹින්නේ -කවුරුද ?මහතුනේ මගේ දුක දකින්නේ

මිදුලේ වලං පෝරණුවට ගිනි තැබුවා

මහ වැහි වළාවක්‌ උඩු පැත්තෙන් ආවා

බේරා ගන්න වෙන පිළිවෙළකුදු නැතුවා

අමුඩය ගලවලා පෝරණුවට වැසුවා

මැටි ගොඩ දමාගෙන දෙපයෙන් පාගන්නේ

ඒ මැටි තමයි සක පෝරුවේ කැර කෙන්නේ

ජීවත් වන්න මය මේ හැටි දුක්‌ ගන්නේ

මගෙ මස්‌සිනා කවද ද මා ගෙන යන්නේ

 

සභ්‍යත්වය කරා පා නගමින් දුරාතීතයේ එක් යුගයෙක විසූ මිනිසා ගින්නෙහි පුළුස්සා ගත් මස් අනුභව කරමින් විසූ බව ඉතිහාසය කියයි. මිනිසා විසින් ආහාර පිස ගැනීම සඳහා මැටි භාජන තනන ලද්දේ ධාන්‍ය  වර්ග ආහාර කොට ගැනීමට පුරුදු වීමෙන් පසුව යැයි සිතිය හැකිය. මුලදී මැටි භාජන තනන ලද්දේ මැටි පිඩක් ගෙන අතින් හැඩ ගසා අව්වේ වියලා ගැනීමෙනි. පසු කලෙක මෙම භාජන පුළුස්සා ගන්නා ලදී.

කුඹල් සක (සක පෝරුව ) නිපදවීම මනුෂ්‍ය සභ්‍යත්වය පිළිබඳ විශාල ජයග්‍රහණයකි. මෙය නිපදවන ලද්දේ ක්‍රිස්තු පුර්ව තිස්වෙනි ශත වර්ෂයේදී පමණ ඊජිප්තු දේශවාසීන් විසිනි. සක පෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සලකන ලදී. මෙය පළමුවෙන්ම භාවිතයට ගන්නා ලද්දේ පුරාණ ඊජිප්තුවේ අග නුවර වූ මැම්ෆිස් නගරයෙහිය. ශිල්පීන්ට අධිපති දේවතාවා වූ “ටා” මේ නගරයේ ආරක්ෂක දෙවියන් වීමද සක පෝරුව

දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සැලකීමට හේතුවක් වූ බව පෙනේ.

ශ්‍රී ලාංකේය කර්මාන්ත ඉතිහාසයේ කුඹල් කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.එහි ඉතිහාසය ඉතා ඈතට දිවයයි.ඉතා දියුණු මට්ටමක පැවැති මෙම කර්මාන්තය රෝහණ ඉතිහාසය ගොඩැනැගීමේ දී පවා කර්මාන්තයෙන් ලැබූ පන්නරය හා ආභාසය ඉතා වැදගත්ය.පුරාවිද්‍යාත්මක සාධක තුළින් ද මේ බව ගම්‍යමාන වේ.එදා දිවයින පුරාම ව්‍යාප්ත වු රජ දවසේ පවා කුඹල් කර්මාන්තයට සුවිශේෂි ස්ථානයක් ලබා දුන්නේය. කුඹල් ගම්මාන හා ලියවුණු කවි මෙම කාර්මාන්තයට ලැබූ තැන පිළිබඳ කදිම සාධකවේ. ලක්දිව මැටි කාර්මාන්තයේ අභිමානය කියා පෑ පාරම්පරික ගම්මානයක් ලෙස වැලිගම කුඹල්ගම හැදින්විය හැකිය.

එදා ගම්මානයක ගැමියන් පෝෂණය වූ ගම්මානයේ අභිමානය රටට කියාපෑ මැටි කාර්මාන්තය වත්මනෙහි අභාවයට යමින් පවතියි. එහෙත් හෙළයේ වාසනාවකට  දහඩිය වගුරමින් කුඹල් කාර්මාන්තයට පනපොවනා කුඹල් ලියන් හා කාර්මාන්තකරුවෝ විවිධ බාධක මැද කාර්මාන්තය රැකගැනීමට ගන්නා වෙහෙස සැබැවින්ම අගය කළ යුතුය.

ඔවුන් ජිවිකාව ගෙවන වැලිගම කුඹල්ගම ගැමි ගම්මානයේ ගැමියන් සොයා අප පසුගිය දිනක ගම්මානයට ගියෙමු .

කුඹල් නිපයුම්කරුවන් ක්‍රමක් ,ක්‍රමයෙන් අඩුවී පවුල් 15 කට පමණ  සීමාවී ඇත.ඇතැම් කාර්මාන්තයේ ‍යෙදෙන කාර්මාන්තකරුවන් පවා තම කාර්මාන්තය ගැන කථාබහ කරන්නට වැඩි කැමැත්තක් නොදැක්වූහ.කාර්මාන්තයේ යෙදෙන කාන්තාවක් පැවසුවේ පොටෝ අරගෙන යන්න.මේ කාර්මාන්තය කරන්නේ අපේ අම්මා යනුවෙනි.”එසේ පැවසුවේ වර්තමානයේ යම් කුලකයට දමා මේ කර්මාන්තය අවතක්සේරුවට පත්කර ඇති නිසා දැයි මා සිතට නැගුනි.ගම්මානයේ ඇවිද ගෙන යන විට කුඹල් කාර්මාන්තය නගා සිටුවන්නට දිරිය ලබා දෙන මුළු ජිවිතයම ඒ වෙනුවෙන් කැපකරන ගැමියෙකු මට මුණගැසුනේය.ඔහු නමින් පේමරත්න ජාගොඩය.ඔහු මේ කාර්මාන්තය වෙනුවෙන් කැප වී ක්‍රියාකරනු දක්න‍ට ලැබිණි.අපේ කතාබහට ඔහු සිය හඩ මෙසේ අවධි කළේ ය.

34  හැවිරිදි දුෂන්ත රණවක කුඹල් කර්මාන්තයේ නිරත තවත් කාර්මාන්ත කරුවෙකි.

මම වසර 20 ක් විතර මේ කර්මාන්තයේ නිරත වෙනවා.‍මේ කර්මාන්ත ගැටළු ගණනාවක් තියෙනවා.රාජ්‍ය ආයතන මේ කර්මාන්තය ගැන ඉහළින් කතා කරනවා.ඒත් අඩුම ගානේ ණය මුදලක් ගැනීමේදී පවා අවතක්සේරුවට ලක්කරනවා.අයවැයෙන් පවා මුදල් වෙන් වෙනවා.ඒත් අපට ඒව ලැබෙන්නේ නැහැ.අපට කිසිම ඇගයීමක් නැහැ.එදා ශිල්ප සභාව වැනි ආයතන තිබුණා.නමුත් අපට ලැබුණ දෙයක් නැහැ.අනෙක අප කාටවත් බරක් නැහැ.රටට ආදර්ශයක් ලබා දෙනවා.ඇයි අප දිහා බලන්නේ නැත්තේ.මේ කාර්මාන්තයට ආයතන තියෙනවා.ඒ ආයතන අපට සාධාරනයක් කරනවා ද? මේ මිනිසුන් ගැන හොයන්නේ නැහැ.අප හැමදාම එකම තැන ඉන්න ඕන නැහැ.අප රටට විතරක් නොවෙයි ලෝකයට අපේ කර්මාන්තය ගෙනියන්න ඕන.මේක කළාවක්.හැබැයි ඔය සම්මාන උළෙලවල් තියෙනවා.කෝ අපට ඒවගේ සම්මාන. එක දෙයක් කියන්න ඕන.අපේ කර්මාන්තයට තැනක් දුන්නේ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස ජනාධිපති තුමායි.එතුමා හැම ගම්උදාවක අපට තැනක් දුන්නා.ඉන් පසුව දයා ගමගේ ඇමති තුමා පසුගිය දිනක ඇවිත් මේ කර්මාන්තය පිළිබඳව සොයා බැලුවා.අප බලාගෙන ඉන්නේ එතුමා මොනවද කරන්නේ කියලා.බලන්න මේ කර්මාන්තය ඉදිරියට යා යුතුයි.

අලුත් තාක්ෂණය එයට ලැබිය යුතුයි.අමාත්‍යාංශය මගින් ඒ සදහා උදව් ලබා දිය යුතුයි.බලන්න ඇතැම් අපේ මිනිසුන් මේ කර්මාන්තය ගැන කතාකරන්න අකැමැතියි.ඔවුන් හිතන්නේ අපේ දරුවන් විවාහයක් කර දීමේ දී පවා මේ කර්මාන්තයේ යෙදීම බාධාවක් වන බවයි.නිර්මාණ කරුවන් ඇගයීමට ලක්කළ යුතුයි.මේක වැනසී යන කර්මාන්තයක්.එහෙත් වුනොත් අපට සිදුවන්නේ චීනයෙන්,ඉන්දි‍යාවෙන් මැටි භාණ්ඩ ගෙන්වන්න වේවි.මාධ්‍ය ගන්නා උත්සාහය අගය කරකවා.මේ ගැන අපට නගන්න බැරි හඩ නැගීම පිළිබඳව.බලන්න මැටි භාජනයක හා ඇලුමිනියම් භාජනය වෙනස බලන්න .ඒක සමාජයට දෙන්න ඕන.මේ පණිවිඩය ලැබුණොත් මේ මිථ්‍යා මත නැතිවේවි.සිංහල අවුරුද්දට කිරි උතුරන්න වළදක් ගෙනියන්න වෙනවා.සමාජය මේ ගැන හිතන්න ඕන.අප බුදුපිළිම නිර්මාණය කරනවා.මිනිසුන් බුදුපිළිමයට වදිනවා.මෙය නිර්මාණය කළ මිනිසුන් ගැන හිතන්නේ නැහැ.අප කියන්නේ අපට ඇගයීමක් ලබා දෙන්න.මතු පරපුර වෙනුවෙන් මේ කාර්මාන්තය රැකෙන්නේ  එහෙම වුණොත් පමණක් බව” දුෂාන්ත පැවසීය.

දීර්ඝ කාලයක් මේ කර්මාන්තයේ නිරත වූ ඡායාරූපය නොදමන ලෙස අපෙන් ඉල්ලීමක් කළ නම කියන්නට අකැමැති වූ වියපත් කාන්තාවක් මෙසේ පවසන්නී .

“අප දැන් ඔය කර්මාන්තය අතහැරලා.අපේ දරුවන් දැන් වෙනත් කර්මාන්තවල නිරතවෙන්නේ.මේව පාර්මපරික කර්මාන්ත.අමුද්‍රව්‍ය හොයාගන්න එක අමාරුයි.අප බෙලිඅත්තෙන් මැටි ගෙන්න වෙන්නේ.මැටි භාණ්ඩ හදලා ජිවත්වෙන්නේ බැහැ.දැන් දරුවන් මේ කර්මාන්තයට කැමැත්තක් නැහැ.අපේ දරු පවුල් ජිවිත්වුණේ මැටි භාණ්ඩ හදලා.දරුවන් ලොකු මහත්කළේ .මටත් දැන් මේ වැඩ කරන්න අමාරුයි.මගේ තාත්තා එදා විවිධ ආකාරයේ මැටි භාණ්ඩ හැදු බව ඇය දැසෙන් වැටෙන කදුලු පිසදමමින් සිය අතීතය ආවර්ජනය කරන්නීය.එහෙත් ඇය නම කියන්නට අකැමැතිවූයැ මන්දැයි නොදනිමි.ඇගේ අතින් නිමවූ සොදුරු නිර්මාණ කොතෙක් ඇද්ද? අපට කිව නොහැකිය.තම පවුලේ දරුවන්ගේ අභිමානයට මේ කාර්මාන්තයේ නියලීම බාධාවක් ලෙස සිතූ නිසා ඇය එසේ නම කීමෙන් වැලකී සිටියා විය හැකිය.

33 හැවිරිදි තල්පගේ සුජානි මේ කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින  කාන්තාවකි.

වර්තමානයේ ද කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින ඇය දිරිය කාන්තාවකි.ඇය මෙසේ පැවසුවා ය.

“මැටි කර්මාන්තය අපේ රටේ වැදගත් කර්මාන්තයක්.ඒත් මේ කර්මාන්තය නැතිවේගෙන යන කර්මාන්තයක්.කුලබේද නිසා මිනිස්සු ඈත්වෙනවා.අපට ඉන්නේ ගැනු ළමයි තුන්දෙනෙක්.ඔවුන් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තුවක් නැහැ.අමුදුව්‍ය හොයා ගන්න බැහැ.වෙල්වලට ගිහින් බැගෑපත් වෙලා තමයි මැටි ගන්නේ.මැටි ගන්න දැඩි වෙහෙසක් ගන්නවා.අමුද්‍රව්‍ය ගන්න පහසුකම් ලබා ගැනීම තමයි වර්තමානයේ කර්මාන්තය මුහුණදෙන ගැටළුවක් වෙන්නේ.මේ කාර්මාන්තය ඉදිරියට ගෙනියන්න මගේ මහත්තයා ගන්න උත්සාහයට මගේ උපරිම සහාය ලබා දෙන බව” සුජානි පවසන්නීය.

මැටි කර්මාන්තයේ  නිරත 33 හැවිරිදි බී.චමින්ද මෙසේ කීය.

“දැන් පොලිසියෙන් කියන්නේ මෙය පාෂාණ වර්ගීයක්.අමුද්‍රව්‍ය රැගෙන ඒමට බලපත්‍ර ගන්න වෙලා.‍තවමත් වෙලක් හාරල මැටි ලබා ගන්නේ.මැටි ගොඩදාන්න මිනිස්සු නැහැ.මගේ බිරිදයි ගිහින් මැටි ගෙන්න යන්නේ.හැමදාම පස්ගෙන්න වගේ ගේන්න නැහැ.රජයෙන් අපට බලපත්‍රයක් අරගෙන දෙන්න ඕන.අමුද්‍රව්‍ය ගන්න ස්ථානයක් හරි සකස් කර දෙන්න ඕන.මේ කර්මාන්තය පවත්වා ගෙන යාම ඉදිරියේ දී පහසු දෙයක් නොවෙයි.තවමත් අප භාවිතා කරන්නේ පරණ ‍සකපෝරුවක්.මේක අපේ අම්මා යොදා ගත් සකපෝරුවක්.එවගේම විදුලියෙන් භාවිතා කරන සකපෝරුවක් අප  දැන් යොදා ගන්නවා.අපේ කර්මාන්තය දියුණු කර ගැනීමට ණය මුදලක් ලබා ගන්න ගියත් හරිම අපහසුයි.අපේ පරම්පරාවෙන් පසුව මේ කාර්මාන්තය අභාවයට යාවි” චමින්ද පැවසුවේ සිතට නැගුනු වේදනාව හදවතේ සගවා රදවා ගෙනය

අනාදිමත් කාලයක සිට පැවත එන මැටි කර්මාන්තය රැක ගැනීමේ අභියෝගය කර්මාන්තයේ නිරතව සිටින පවුල් කිහිපයට පමණක් නොව කුඹල්ගම සමස්ත ගම්වාසීන්ගේ හෙට දවසේ වගකීමක් බවට පත්ව ඇත.

ඒ සඳහා දිරිය ලබාදීම මේ කර්මාන්තයේ වගකීම භාරව සිටින සියළු රාජ්‍ය ආයතවලද වගකීමක් බවට පත්වන බව සිහිපත් කළ යුතුය.එසේ නොවුනහොත් කුඹල් කර්මාන්තය නොමැති ගමක් බවට කුඹල්ගම පත්වනු ඇත.එසේ වුවහොත් අපේ මතුපරපුරට උරුමවන්නේ මේ ගමින් නිමවූ අපූර්ව නිර්මාණ පිළිබඳ අතීතය රටට කියන්නටය.එසේ නොවන්නට කර්මාන්තයේ නිරත සීමිත පිරිසකගෙන් ගොඩැනැගූ මෙම කර්මාන්තකරුවන්ගේ සංගමය සැබැවින්ම කුඹල් කාර්මාන්තයට මෙන්ම ගම්මානයටද සැබෑ ශක්තියක් බවට පත්වනු දැකීම වැලිගම, කුඹල්ගම කුඹල් කර්මාන්තයට හිතැති ‍බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *