ලංකාවේ රෝගියකුගේ වකුගඩුවකින් හමුවුණු විශාලතම ගල් කුට්ටි ප්‍රමාණය අනුරාධපුරයෙන්–කිලෝ දෙකක ගල්

ලංකාවේ රෝගියකුගේ වකුගඩුවකින් හමුවුණු විශාලතම ගල් කුට්ටි ප්‍රමාණය අනුරාධපුරයෙන්–කිලෝ දෙකක ගල්

සර්ප විෂ පරීක්ෂාවකට රෝහලට ගිය අයකුගේ වකුගඩුවේ කිලෝ දෙකක ගල් විශේෂඥ වෛද්‍ය අරවින්දන් ඇතුළු කණ්ඩායමට සැත්කමකින් ගල් ඉවත් කිරීමට පැය 3ක් ගත වෙලා

මිනිස් වකුගඩුවක් තුළ අසාමාන්‍ය ලෙස වර්ධනය වූ කිලෝ ග්‍රෑම් දෙකක් පමණ බරින් යුතු විශාල ප්‍රමාණයේ ගල් කැබලි කිහිපයක් වෙනත් රෝගී තත්ත්වයක් නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටි රෝගියකුගේ වකුගඩුවේ ඇති බව අනාවරණය කරගෙන සැත්කමක් මඟින් එය ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටී. අරවින්දන් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමකට පෙරේදා (3දා) හැකි වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්දන් මහතා ඇතුළු වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් විසින් පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සියුම්ව කළ ශල්‍ය කර්මයකින් අනතුරුව කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු කළුගල් හැඩයෙන් යුක්ත වූ ගල් කැබලි හතක් ඉවත් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රෝගියකුගේ වකුගඩුවක තිබී හමු වූ විශාලතම ගල් කැබලි මෙය බව වෛද්‍ය කණ්ඩායම අනාවරණය කළේය.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාලදිවුල්වැව 412 ගම්මාන අංක අටෙහි පදිංචි පී.ජී. ගාමිණී රාජපක්ෂ (41) මහතාට මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව ගල් කුට්ටි ඉවත් කර තිබිණි. මාස තුනකට පමණ ඉහතදී රාජපක්ෂ මහතා කුණකටුවා නම් සර්පයකුගේ දෂ්ටනයට ලක්වී ඇති අතර එම විෂ තවදුරටත් ශරීරයේ පවතීද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට රුධිර සාම්පලයක් ලබාදීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුගේ වකුගඩුවක යම් අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන බව පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

ඒ අනුව වෛද්‍යවරුන් ඔහු සාමාන්‍ය එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව වකුගඩුවේ තදබල යමක් තැන්පත් වී ඇති බව අනාවරණය කරගෙන එය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටී. අරවින්දන් මහතා,
මම බදුල්ල රෝහලේ වසර හතක් සේවය කළා. දැන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වසර තුනක් සේවය කරනවා. ඒ කාලය තුළ මුත්‍රා මාර්ගයේ තිබී විශාල ගල් ඉවත් කළත් වකුගඩුවකින් මේ වගේ ගල් අරගෙන නෑ. මේක තමයි ලංකාවේ රෝගියකුගේ වකුගඩුවකින් හමුවුණු විශාලතම ගල් කුට්ටි ප්‍රමාණය බවට අනුමාන කරන්නේ.

මේ රෝගියා ආවේ සර්පයකු දෂ්ට කිරීම නිසා නැවත රුධිර පරීක්ෂාවකට. එහිදී මට දැනගන්න ලැබුණා ඔහුට වකුගඩුවේ ආබාධයක් තිබෙන බව. එක්ස් කිරණ පරීක්ෂාවේදී දැකගන්න ලැබුණා දකුණු වකුගඩුවේ ගල් තැන්පත් වී තිබෙන අයුරු. ඒ අනුව භාරදුර ශල්‍යකර්මය සිදුකර අපි ඒ ගල් කුට්ටි සියල්ල ඉතා සියුම්ව අරන් දැම්මා. සාමාන්‍ය පුද්ගලයකු දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න ඕන.

එහෙම වුණාම මේ වගේ ගල් හට ගැනීම සිදු වන්නේ නෑ. රෝගියා දන්නේ නෑ ඔහුගේ වකුගඩුවේ ගලක් තිබෙන බව. ඔහුට කිසිම වේදනාවක් දැනිලාත් නෑ. මේ රෝගියාගේ වම් වකුගඩුව බෙහෙවින් නරක් වෙලා තියෙන්නේ. නමුත් ඔහු මේ වන විට ඉතා හොඳ සුවයෙන් ඉන්නවායි ඒ මහතා පැවැසුවේය.

තමන් නොදත් රෝගයකින් බේරාගත් විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමට ස්තුති කළ ගාමිණී රාජපක්ෂ (41) රෝගියා,
මම රෝහලට ආවේ සර්පයා දෂ්ට කළ නිසා.

නමුත් පස්සේ දැන ගත්තේ වකුගඩුවේ ගලක් තියෙනවා කියලා. මට පසුගිය කාලයේ කිසිම අපහසුතාවක් තිබ්බේ නෑ. මම නොදන්න රෝගයකින් මාව ගලවපු අරවින්දන් සර් ඇතුළු සියලුම දෙනාට ස්තුති කරනවායි ඔහු පැවැසුවේය.

මවිබිම

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *