පොදුජන පෙරමුණ ට තුනෙන් දෙකක බලය ලැබෙනවා– ඉන්දික අනුරුද්ධ

ර⁣ට ලොක්ඩවුන් කර තිබියදී පවා ජනතාව බලා ගත් පොදුජන පෙරමුණ ට තුනෙන් දෙකක බලය ලැබෙනවා– හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

ර⁣ට ලොක්ඩවුන් කර තිබියදී පවා ජනතාව බලා ගන්නට කටයුතු කළා. සහන මළු බෙදුවා. දෙවතාවක් රු.5000 බැගින් සෑම පවුලකටම ලබා දුන්නා. ඒ නිසා ජනතාව පැහැදිලිවම දන්නවා එක්සත් ජාතික පක්ෂයෙත්, පොදුජන පෙරමුණෙත් වෙනස

දිවුලපිටියේ ඉන්දික අනුරුද්ධ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ ශක්තිමත් බල කණුවක්. ඔහුට එරෙහිව කුමන බාධා අවලාද නැගුවත් ඒවා මැඬගෙන ඉදිරියට යන ජව සම්පන්න තරුණ නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉන්දික අනුරුද්ධට නිවාස රාජ්‍ය ඇමතිකම බාර දෙන්නේ දැඩි විශ්වාසයකින්. ඔහු තමයි ගම්පහ දිස්ත්‍රික් ඉතිහාසයේ පළමු වතාවට නිවාස රාජ්‍ය අමාත්‍යවරයෙක් බවට පත් වෙන්නේ. මේ ක්‍රියාශීලී තරුණ නායකයා මහර ආසනයට පැමිණ කළ කතා බහක සංෂිප්තයයි මේ.

මුළු රටම ඉල්ලූ නායකත්වය දැන් ලැබිලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය භාර ගත් පසු, රටට කිව්වේ ඔබ ඔබේ යුතුකම ඉටු කළොත් මම මගේ යුතුකම හරියට ඉටු කරනවා කියලයි. කිව්වා වගේම එතුමාගේ යුතුකම් කොටස හරියට ඉටු වන හැටි දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා.

රාජ්‍ය සේවයේ අසීමිත වියදම් කපා හැරලා, මෙතෙක් කලක් රස්තියාදුවේ ගිය රාජ්‍ය සේවය හරි මගකට අවතීර්ණ කරලා තිබෙනවා. ඒ නිසා අපටත් ඔබටත් වගකීමක් තිබෙනවා මේ රට හදන ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබා දීමට.

අද එක්සත් ජාතික පක්ෂයක් නැති තරමට දියාරු වී ගිහිල්ලා. මහර ආසනයට පැමිණ එක්සත් ජාතික පක්ෂය ගැන කතා කිරීමත් තේරුමක් නැති දෙයක්. ඒ නිසයි පහුගිය ජනාධිපතිවරණයේදී මහර මහ ඉහළින්ම පොදු පෙරමුණ ජයග්‍රහණය කරන්නේ. ඊටත් වඩා අද ඔබේ වගකීම පළල් වෙලා. දැන් ඔබට තිබෙන්නේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීමටයි. ඒක ජාතික යුතුකමක්. අපේ ඒ යුතුකම මෙවර ඉටු කරමු.

අපි වැඩ පටන් ගන්නේ එළැඹෙන අගෝස්තු පස් වෙනිදායින් පසුවයි. මට ගියවර පාර්ලිමේන්තු යන්න මගේ අසල්වාසී ආසනවලින් උපරිම සහායක් ලැබුණා. ඔවුන් අදත් මාව විශ්වාස කරනවා. මම ඡන්ද කාලෙට පමණක් එන ඡන්ද මංකොල්ල කාරයෙක් නෙවෙයි. මුලින්ම දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාටත් ඉන්පසුව ඔබේ ආසනයේ සංවිධායක ප්‍රදීප් සහන්ටත් මහතාටත් ඔබේ මනාපය පළ කිරීමේ යුතුකමක් ඔබට තිබෙනවා.

දෙදහස් පහළොවේ අපි පාර්ලිමේන්තුවට ගිය පසු, අපට නොයෙක් වරදාන වරප්‍රසාද දී බිලී බාගන්නට හැදුවා. නමුත් අපි භාර ගත්තේ නෑ. ඒ නිසා අපි මහින්දත් මහතාත් සමග විපක්ෂයට ගියා. මහින්ද මහතා රට සමග හිටියා. අපිත් ඔහු සමග හිටියා. ඒ නිසාමදෝ අපේ මන්ත්‍රීවරු හිරේ දැම්මා. ස්වාමීන්වහන්සේලා, රණවිරුවෝ නිකරුනේ හිරේ දැම්මා. නමුත් අපි පසු බැස්සේ නෑ. හැට නම ලක්ෂයක් ජනතාව පෙළගස්වලා අපේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. අපි කළ ඉල්ලීම හැටනම ලක්ෂයක් ජනතාව අනුමත කලා.

මේ හැටනම ලක්ෂ නිසා තමයි අද අපිත් ඔබත් රටත් සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ. ඇමරිකාව, ජපානය සහ චීනය වැනි දැවැන්තයින් කොරෝනා වසංගතයෙන් පීඩා විඳිද්දී, ලක්ෂ ගණන් මිය යද්දි අපි අපේ රටත් ජනතාවත් විශාල කැපකිරීමක් කරලා බේරා ගත්තා. ඒ ඝෝටාභය ජනාධිපතිතුමා නිවැරැදි තීන්දු තීරණ කලට වේලාවට ගත් නිසයි. සෞඛ්‍ය අංශ හා හමුදාව ලොකු කැපකිරීමක් කළ නිසයි.

ර⁣ට ලොක්ඩවුන් කර තිබියදී පවා ජනතාව බලා ගන්නට කටයුතු කළා. සහන මළු බෙදුවා. දෙවතාවක් රු.5000 බැගින් සෑම පවුලකටම ලබා දුන්නා. ඒ නිසා ජනතාව පැහැදිලිවම දන්නවා එක්සත් ජාතික පක්ෂයෙත්, පොදුජන පෙරමුණෙත් වෙනස.

අද එක්සත් ජාතික පක්ෂයක් ගැන මැතිවරණ කරළියේ අහන්නට වත් ලැබෙන්නේ නෑ. අලිය ද දුරකථනය ද කියලා හොයා ගන්නත් නෑ. අද පවත්නා මැතිවරණ නීතිය අනුව මෙය තවත් අවුල් සහගත වෙනවා. පෝස්ටරයක්, දැන්වීමක්, අංකයක් ප්‍රදර්ශනය කරන්නට බැරි නිසා එක්සත් ජාතික පක්ෂය ගැන සෙවීම හරියට සැඟවුණු අමුත්තා සොයනවා වගේ. ඒ නිසා අපට තුනෙන් දෙකක බලය ලබා ගැනීම අපහසු කාර්යක් නෙවෙයි.

පහුගිය රජය අන්තවාදීන්ට යටත් වෙලයි හිටියේ. අද වන විට මුහුදු මහා විහාරය, සෝමාවතිය වැනි බෞද්ධ පුදබිම් අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගනිමින් පවතිනවා. රටේ බෞද්ධ පුනර්ජීවනයක් ඇති වෙමින් යනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරලා, යටිතල පහසුකම් වැඩි කරලා, උපාධිධාරීන්ට රැකියා ලබා දීලා, තරුණයන්ට රැකීරක්ෂා අවස්ථා ලක්ෂයක් ඇති කරලා, සපිරි ගමක් වැඩසටහන යටතේ හැම ගමකටම රුපියල් මිලියන දෙකක් ලබා දීලා, කාපට් පාරවල් කිලෝ මීටර් ලක්ෂයක් ඉදි කරලා, රට ගොඩනගන්නට සියලු සැලසුම් හදලා ඉවරයි.

ඇඟලුම් සංචාරක ආදි සියලු ක්ෂේත්‍ර කඩාවැටිලා, විදේශ ආධාර නැවතිලා, විදේශ ශ්‍රමිකයන්ට ප්‍රශ්න ඇති වෙලා, රට නැවතුන මොහොතේ දේශීය කර්මාන්ත ඇති කරලා, කෘෂිකර්මය හා සුළු අපනයන බෝග වගා වැඩි දියුණු කරලා, ගෘහ ආර්ථිකය ශක්තිමත් කරලා, අවසානයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීමේ ඉලක්කයකට තමයි අපි මේ යමින් සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *