රන්ජන්ගේ ලැබී ඇති හඬපටය පැහැදිළි නැති බව රස පරීක්ෂක කියයි !!!

පසුගිය සති කිහිපයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ සසැඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27) වනතුරුත් ලැබී නොතිබිණ.

හඬ සසැඳීමේ කටයුතු සඳහා රන්ජන් රාමනායක මහතාගේ කටහඬ ඇතුළත් හඬපටයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉකුත්දා බාරදෙනු ලැබූ නමුත්, ඒ හඬපටයේ හඬ අපැහැදිලි තත්ත්වයේ පැවතීම නිසා එය එම කොට්ඨාසයට නැවතත් බාර දී තිබිණ.

හඬපටය නැවත මෙසේ බාර දී තිබුණේ හඬ සසැඳීම සඳහා වෙනත් පැහැදිලි හඬපටයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමිනි. එහෙත් මේ දක්වා ඒ හඬපටය ඉදිරිපත් කර නැතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

මේ අතර තැටිගත කිරීමේ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා තිබූ රන්ජන් රාමනායක මහතාගේ හඬපට තැටිගත කිරීම මේ දිනවල කරගෙන යන අතර, එම තැටිගත කිරීම් අවසන් කිරීමට තව සති දෙකක්වත් ගත වනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.

තැටිගත කිරීමට මෙසේ දිගු කාලයක් ගත වන්නේ ඒ හඬපටවල දුරකතන සංවාද දහස් ගණනක් ඇතුළත් වී තිබෙන හෙයිනැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

හඬපට තැටිගත කිරීම සඳහා අවශ්‍ය දෘඪ තැටි අවශ්‍ය ප්‍රමාණයට පොලිසියෙන් ලබාගෙන ඇතැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානීහු කියති.

හඬ සැසඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය ලැබුණු පසුව ඒ සැසඳීම් කටයුතු සඳහා රන්ජන් රාමනායක මහතා දින කිහිපයක් ඇතුළත කැඳවෙනු ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *