රත්නපුරේ හෝටලයක ෆේස්බුක් මත්පෙති සාදයක්

රත්නපුරේ හෝටලයක ෆේස්බුක් මත්පෙති සාදයක්

රත්නපුරේ දුරෙක්කන්ද හෝටලයක 13දා පැවැත්වූ ෆේස්බුක් සාදයකදී අයිස් නමැති මත්පෙති බී මත් වූ තරුණ තරුණියන් අශෝභන ලෙස හැසිරෙමින් ගම්වැසියන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත.

පසුව මේ පිළිබඳව ගම්වැසියන් වේවැල්වත්ත හා රත්නපුර පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ රත්නපුර පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් එම සාදයට පැමිණ සිටි තරුණ තරුණියන් 35 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසිය වෙත රැගෙන ගොස් දැඩි ලෙස අවවාද කර අවශ්‍ය වුවහොත් යළි කැඳවන නියෝග මත පොලිස් ඇප මත මුදා හැර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතා,

ගමේ අයගෙන් අපිට පැමිණිල්ලක් ලැබුණා තරුණ තරුණියන් පිරිසක් දුරෙක්කන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයක සාදයක් පවත්වා මත් වූ තරුණ ළමයින් එම ගමේ අයත් එක්ක ආරවුලක් ඇති කරගෙන ඇති බව. ඒ අනුව අප වහා එම ස්ථානයට ගොස් ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි තරුණ තරුණියන් 35 දෙනකු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට රැගෙන ආවා.

ඒ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට නොගත්තා නම් විශාල ප්‍රශ්නයක් ඇතිවන්න තිබුණා.

එම තරුණ පිරිස වයස අවුරුදු 18, 20, 22 වැනි වයස් කාණ්ඩවල අයයි. ඔවුන් ෆේස්බුක් හරහා සම්බන්ධ වෙලයි එම ස්ථානයට ඇවිත් තිබුණේ. කොළඹ, ගාල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලින් තමයි ඒ අය ඇවිත් සිටියේ. මා මවුපියන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා තම තරුණ දරුවන් ගැන මේ කාලයේ දැඩි විමසිල්ලකින් සිටින ලෙස. රත්නපුර භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සේරසිංහ මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි අශෝක විජේරත්න හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

මවබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *