රට හදන්න තාමත් භාර දෙන්නේ රනිල්ලාට මහින්දලාටයි

රට හදන්න තාමත් භාර දෙන්නේ රනිල්ලාට මහින්දලාටයි

හිටපු පාලකයන්ට මෙන්ම දැනට සිටින පාලකයන්ටත් අපේ රට හදන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ අවුරුදු 70 ගමන් කළ මාවතේම අපි යනවද එහෙම නැත්නම් වෙන මාවතකට අපි එනවද කියලා හිතන්න ඕනෑ. අපි කාටත් වැඩක් නෑ හිටපු හා ඉන්න පාලකයන් ගැන කතා කර කර ඉඳලා. අපි හැමෝම දැන් පොදු එකඟතාවකට ආ යුතුව තියෙනවා.

මේ අයට පුළුවන්කම තියෙන්නේ අපේ රට විනාශය කරා ගෙන යන්න විතරමයි යන්න ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහනුවරදී ප්‍රකාශ කළේය.

මහනුවර අඹතැන්න කළුවාන ප්‍රදේශයේදී පැවැති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙසේද කීය.

මේ අයට රට හදන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව මේ රටේ සංවාදයක් අවශ්‍ය නෑ. හැබැයි වැඩේ තියෙන්නෙ ජනතාව තාමත් මේ අය රට හදයි කියලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ජනතාවගේ මතේ තියෙන්නේ හොරකම් කරන්නෙ නැත්තේ ජවිපෙ එක. හොරකමට විරුද්ධත් ජවිපෙ එක. ජනතාවට ප්‍රශ්නයක් ආවොත් කතා කරන්නෙ ජවිපෙ. ජනතා විමුක්ති පෙරමුණට ජනතාවගේ ප්‍රශ්නයක් ඉක්මනට ගිහිල්ලා කියනවා. හැබැයි ඉතින් රට හදන්න කියලා භාර දුන්නේ රනිල්ට. මහින්දට තමයි. නාගරික ජනාවාස ඇති වුණා. ඒ නිසා නගරවල මුඩුක්කු පැල්පත් වැසිකිළි නැති ප්‍රශ්න. බෝ වන රෝග වසංගත හැදිලා තියෙන්නෙ නගරවල. ඒක ඒ රටවලට ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නෙ අපේ රටේ ජනතාව ගම් අතහැර කොළඹ ගියේ නෑ. අදත් අපේ රටේ බහුතර ජනතාවක් ජීවත්වෙන්නේ ගම්වල. ඒ නිසා තමයි බැරි වෙලාවත් දින තුන හතරක් නිවාඩුවක් ආවොත් කොළඹ තේ එකක් බොන්න කඩයක් නෑ. ඔක්කොම ගමේ. එහෙනම් මේ ගමේ ආර්ථිකය ගොඩනඟන්නෙ නැතිව අපේ රටේ ජනතාවගෙ ජීවිතේ උසස් කරන්න බෑ.

අද ගමේ ජනතාවට හොඳ ජීවන තත්ත්වයකුත් නෑ. ප්‍රධාන ප්‍රශ්නය අද ගම්වල තියෙන ග්‍රාමීය ජනතාවගේ විශාල ණයගැතිභාවය. ඔවුන් විශාල ණය බරක හිරවෙලා තියෙන්නෙ. එක එක වර්ගයේ ණයවලින් ගම වෙළාගෙන.

කෘෂිකර්මාන්තය වර්ධනය කළොත් විතරයි ගොවි ජනතාවගේ ජීවිතේ උසස් වෙන්නෙ. ධීවර කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් කළොත් විතරයි ධීවර ජනතාවගේ ජීවිතේ උසස් වෙන්නේ. මේ හිටපු පාලකයෙක්වත් මේ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ගයක්, ජීවන තත්ත්වයක් උසස් කිරීම සඳහා ඔවුන් නියැළෙන ක්‍ෂේත්‍රයට හදපු වැඩපිළිවෙළ මොකක්ද? හැදුවද? එහෙම එකක් මොනවත් නෑ. හැබැයි ඡන්දේ කාලෙට තහඩු දෙකක් දෙනවා. ඉතින් ආර්ථිකේ දියුණු වෙනවද? එක්කෝ වැසිකිළි පෝච්චියක් දෙනවා. සාරියක් දෙනවා. මුල්ලුවක් දෙනවා. ඒවා ඇවිල්ලා අල්ලස්. ඒවා ආර්ථික වැඩපිළිවෙළක් නෙවෙයි. උඹට මම සාරියක් දෙනවා. උඹ මට ඡන්දෙ දීපන්. ඒව අල්ලස් දීමක්. සංවර්ධනයක් නම් මොකක්ද සංවර්ධනයක් හෝ කවරක්වත් නෙවෙයි ග්‍රාමීය ජනතාවගේ යැපුම් මාර්ගය කෘෂිකර්මාන්තයද, ධීවර කර්මාන්තයද, සුළු අපනයන බෝගද දියුණු කරන්නට ඕනෑ.

සංවර්ධනය කියන්නෙ මේ ගොඩනැඟිලි කොන්ක්‍රීට් වනාන්තරේ නොවෙයි ජනතාවගේ ජීවිතේ උසස් වෙන්නෙ කොහොමද, ආර්ථිකය වැඩිවෙනවද, දරුවන්ගෙ අධ්‍යාපනය හොඳ වෙනවද එයට නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙනවාද ඒවා තමයි සංවර්ධනය කියන්නෙ. හැබැයි අපිට මෙලෝ සම්බන්ධයක් නැති ගොඩනැඟිලි හැදුවම කියනවා මාර සංවර්ධනයක් කියලා. කොළඹ උසම උස කුලුනක් හැදුවයි කියලා වැඩක් නෑ. ජනතාවගේ ජීවිතය උසස් වෙන්නට ඕනෑ.

අලවතුගොඩ – ජයම්පති අනුර බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *