රට විනාශ නොකොට ඉවත් වී යන්න– රටේ පාලනය භාර ගැනීමට මම සූදානම්

රට විනාශ නොකොට ඉවත් වී යන්න– රටේ පාලනය භාර ගැනීමට මම සූදානම්

දැඩි ආර්ථික අර්බුදයකට යොමු කරමින් තවදුරටත් රට විනාශ නොකොට ඉවත් වී යන ලෙස වත්මන් ආණ්ඩුවේ නායකයන්ට ප්‍රකාශ කරන බවත් රට යළි භාරගෙන ගොඩනැංවීම සඳහා තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති නිල නිවෙසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 170ත් පසු කර තවදුරටත් ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වන බවත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ ඊට මුහුණදීමට වත්මන් ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් හැම අතින්ම අසමත්ව සිටින ආණ්ඩුවට වහාම ඉවත් වී යෑමට කාලය පැමිණ තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යළි මේ රට භාරගතහොත් මෙම සියලුම අර්බුදවලින් රට ගොඩගෙන යළි රට ශීඝ්‍ර සංවර්ධනයකට ගෙන යා හැකි වැඩසටහනක් තමා සතු බවත් රට භාරගත් පසුව එම වැඩසටහන රටට ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. වර්තමානයේ නිසි නායකත්වයක් නොමැති නිසා රට විනාශයට යමින් තිබෙන බවත් තමා ත්‍රස්තවාදය පරාජය කරමින් රට වේගවත් සංවර්ධනයකට ගෙන යෑමට කටයුතු කළේ ලෝක ආර්ථික, ආහාර සහ තෙල් අර්බුද පැවැති අවස්ථාවේදී බවත් අභියෝග ප්‍රායෝගිකව ජයගෙන පෙන්වා දී තිබෙන තමන්ට වර්තමානයේ පවතින ගැටලු අභියෝග නොවන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
එම නිසා තවදුරටත් මේ රට විනාශ නොකොට ආණ්ඩුව ඉවත් විය යුතු බවත් මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් රටේ පාලන බලය භාර ගැනීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *