රට පුරා දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් – වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ

රට පුරා දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් – වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ

කොරෝනා අවදානමක් තිබියදීත් මහජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආගමික සිද්ධස්ථාන, සාප්පු, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සීමාවකින් තොරව ඒකරාශි වීමට පටන් ගෙන තිබීම හේතුවෙන් රට පුරා දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

තවමත් පොදු ස්ථානවලට එක් රැුස් විය හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ක‍්‍රියාත්මක වන බැවින් කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වාලීම සඳහා මෙම දිනවල එවැනි ස්ථානවලට විශාල වශයෙන් ඒකරාශි වීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කීවේය.

ඊයේ (28දා) රට පුරා විහාරස්ථානවල පැවති ආගමික වතාවත්වලට බොහෝ දෙනා සහභාගී වී ඇත්තේ නිසි පරිදි මුහුණු ආවරණයක් නොපැළඳ, සමාජ දුරස්ථභාවය නොරකිමින් බවට පෙනී ගිය බවත් සෙසු ආගමික මධ්‍යස්ථානවලට යෑමේදීත් බොහෝ දෙනා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතයක් මතුවීමට හේතු විය හැකි බැවින් පොදු ස්ථානවලට එක්රැුස් වීමේදී නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණු ආවරණයක් (මාස්ක්) පැළැඳීම, එකිනෙකා අතර මීටරයක දුරස්ථභාවයක් පවත්වාගැනීම, කිසියම් ද්‍රව්‍යයක් හෝ පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු දෑත් සබන් යොදා හොඳින් සෝදා ගැනීම විෂබීජනාශක දියරයක් (සැනිටයිසර්) යොදා ගෙන පිරිසිදු කරගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනිවාර්යයෙන් අනුගමනය කිරීමට පියවර ගත යුතු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර යාපනය දිස්ත‍්‍රික්කයේ තැනින් තැන කොරෝනා පොකුරු මතුවීමට මුල් වී ඇත්තේ ඉකුත් මහා ශිවරාත‍්‍රී දින පැවති ආගමික වතාවත්වලට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ජනතාව විශාල වශයෙන් ආගමික මධ්‍යස්ථානවලට එක්රොක් වීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

‘‘මෙම දිනවල දිවයිනේ සෙසු ආගමික මධ්‍යස්ථාන, සාප්පු, වෙළෙඳ ප‍්‍රදර්ශන කුටි ආදියට ජනතාව එක්රොක් වන ආකාරය ඉතාමත් අනතුරුදායකයි. තවමත් කොරෝනා වසංගත අවදානම රට තුළ පවතින නිසා මෙවැනි තත්ත්වයන් කොරෝනා පොකුරු නිර්මාණය වීමට බලපෑ හැකියි. ඉන්දියාවේ මෙවැනි තත්ත්වයක් දැනටමත් උද්ගත වෙලා තිබෙනවා. එළඹෙන උත්සව සමයේ ජනතාව දැනට වඩා වගකීමෙන් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු නොකළහොත් භයානක ප‍්‍රතිඵල ඇති විය හැකියි’’ ඔහු අවධාරණය කළේය.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *