රට ගොඩනැගීමේ මහා මෙහෙයුම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් දැන් ක්‍රියාවට නංවයි

රට ගොඩනැගීමේ මහා මෙහෙයුම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් දැන් ක්‍රියාවට නංවයි

එක්සත් ජාතික පක්ෂය විසින් වසර තුනහමාරක් තිස්සේ විනාශ කරන ලද රට ගොඩනැගීමේ මහා මෙහෙයුම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් දැන් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවා ස්ථාවර රටක් බිහිකිරීමට ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතා කැමැත්ත විමසා බැලිය යුතු බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට මිනුවන්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (26) එක්වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි මහින්ද මහත්තයා අගමැති ධුරය භාරගත්තේ ඇයි කියන එක. තව අවුරුද්දකින් ඡන්දය දිනලා රජෙක් වගේ රජ ගෙදරට එන්න තිබුණු මහින්ද මහත්තයා මේ වගේ අවස්ථාවක අගමැති ධුරය භාර ගත්තේ ඇයි කියලා කවුරුත් අහනවා. අපිටත් ඒ ප්‍රශ්නය තිබුණා. නමුත් උදා වෙලා තිබෙන වාතාවරණය අනුව මහින්ද මහත්තයාට ඒ තීන්දුව ගන්න සිදුවුණා කියන එක අපි දැන් පැහැදිලිව දන්නවා.

තව අවුරුද්දකින් ඡන්ද දිනලා රජගෙදරට එන්න හිටියා නම් මහින්ද මහත්තයට එන්න රජගෙදරක් ඉතුරු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ රටම උකස් තියනවා. ඉතිං මේ තත්ත්වයෙන් රට මුදා ගන්නත් අනාගත දරු පරපුර වෙනුවෙන් රටක් ඉතිරි කරන්නත් අවශ්‍යම නිසා මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම බාරගත්තා. මැතිවරණ දෙකකින් පැරැදුනු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම බාරදීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශකර තිබෙනවා. නමුත් මම අහන්න කැමැතියි මැතිවරණ 27කින් පැරැදුණු රනිල් වික්‍රමසිංහ එහෙම කියන්නේ කටින් ද කියා.
රටට මොනවා වුණත් සදාකාලිකව බලයේ ඉන්න කෑදරකමින් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නඩයට එළඹෙන මහා මැතිවරණයේ දී හොඳ පිළිතුරක් හිමිවෙනවා නියතයි. අපි ඒ දෙස මහත් උනන්දුවෙන් බලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ එදා වේල කොහොම හරි ගතකර ගන්න එක විතරයි. නමුත් අපිට එහෙම වගකීම් විරහිතව වැඩකරන්න බැහැ. රටේ අනාගතය වගේම දරු පරපුරේ අනාගතය වෙනුවෙන් අපිට හිතන්න ඕන.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ස්ථාවර නියෝගවලට පටහැනි ලෙස අද කතානායක කරූ ජයසූරිය කටයුතු කරනවා. ඒ තත්ත්වය අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙළාදකිනවා. කරූ ජයසූරිය හිතන්නේ පාර්ලිමේන්තුවේ කතානායක කිවුවම රටේම නායකයා සහ තමන් හිතන පතන විදියට හැමදේම සිදුවිය යුතුයි කියලයි. නමුත් එහෙම දෙයක් තවම නම් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී නැහැ. කරූ ජසූරියට අවශ්‍ය වී තිබෙන්නේ මේ මොහොතේ රට තුළ ගැටළුකාරී තත්ත්වයක් තිබෙන බවට ලෝකයට ප්‍රකාශකර රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ එළියට ඇද දමා පොදු අපේක්ෂකයා වීමයි.

පොදු අපේක්ෂක හීනයෙන් පෙළෙන කරු ජයසූරිය දැන් අපේ පාර්ලිමේන්තුව වගේම රටත් විනාශ කරලා ඉවරයි. තවදුරටත් මේ විදියට ඉදිරියට යන්න දෙන්න බැහැ. මේ වියරු වැටුණු ඒකාධිපති කතානායකවරයා පන්නා දැමීම රට වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සේවයයි. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකට වගේම කරු ජයසූරියගෙත් අවසන් පාර්ලිමේන්තු පැමිණීම තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. රට පාවා දෙන කිසිම කෙනකුට උත්තරීතර පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ඉඩ තියන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපි හැමදාම ජනතාවට කිව්වේ මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලයි. වසර තිහක් තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු මහින්ද මහත්තයට මේ රට ගොඩනගන එක ලොකු දෙයක් නෙමෙයි. දැන් එතුමා ඒකට මුල පුරලා තියෙනවා. රට හෙමින් හෙමින් හරි මාර්ගයට වැටෙමින් තිබෙනවා. ඒ ගමන ස්ථිර කරන්න නම් අපට අවශය වෙන්නේ ස්ථාවර ආණ්ඩුවක් කියන එක පැහැදිලියි. ඒ නිසා හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රටක් බිහිකිරීමට පියවර ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *