රටේ ප්‍රශ්න වලට දිගින් දිගටම විහිලු තීරණ ගත්තොත් ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි. – මන්ත්‍රී බද්දේගම සමිත හිමියන්

ආණ්ඩුව සයිටම් වෙනුවෙන් ලබා දුන් විසදුම ආණ්ඩුවේ ඇස් බැන්දුම් විසදුම් මාලාවේ තවත් එක් විසදුමක් විනා කිසිවෙකු බලාපොරොත්තු වු විසදුමක් නොවන බව දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පවසනවා.

සයිටම් පිලිබඳ ආණ්ඩුවේ මතය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී බද්දේගම ප්‍ර දේශයේ පැවති මෙම හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වු උන් වහන්සේ මෙසේ ද පැවසුහ.

දැන් මේ සයිටම් එක නෙවිල් ප්‍රනාන්දුට තිබුණා කියලා කාටවත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ. කවුරුවත් උද්ඝෝෂණ කරේ නෑ නෙවිල් ප්‍රනාන්දුගේ අයිතිය නැති කරන්න කියලා. මේක නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කරලා වෙන කෙනෙකුට දීමේ ඇස් බැන්දුමක් තමයි කරේ. ඒ ඇසු බැන්දුම තුලින් නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරැකෙන්නේ නෑ. ප්‍රමිතිගත වෛද්‍යවරුන් රටට බිහි වෙන්නේ නෑ. මේ විසදුම යන්නේ කොහේද මල්ලේ පොල් කියන ඒවටත් එකටත් වඩා එහා ගිය ජාතියේ විසදුමක්. මේ රටේ ආණ්ඩුව අද ජනතාවට විහිළු සපයන්නෙක් වෙලා. ඕන කෙනෙකුට තේරෙණවා සයිටම් එකට ඇති ප්‍රශ්ණය මොකක්ද කියන එක. නමුත් මේ ආණ්ඩුවට තේරෙන්නේ නෑ. ඒ වගේ තමයි ඉදිරියේ දී සයිටම් වැනි ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ආවොතින් ඔවුන් කරන්නෙත් මේ ආණ්ඩුව කරනවා වගේ වැඩ. හෙමබිරිසාවට බෙහතේ දෙන්න ඕන එකට උණ සන්නිපාතයට බෙහෙත් දේවි. කැස්ස තියන මිනිහාට ආතරයිටීස් වලට බෙහෙත් දේවි. ආණ්ඩුවට අද අවශ්‍ය වෙලා තියෙන්නේ එවැනි පිරිසක් බිහිකිරීමයි.

අවුරුදු එකහමාරක පමණ කාලයක් සටන් කරේ මේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය​ ගැන එයින් පිටවන උපාධිධාරීන් ගේ දැණුම සහ හැකියාව මැනීමේ පොදු ක්‍රම වේදයක් නොමැති වීම​ යන කරුණු ඒ ප්‍රශ්ණ දෙකටම මේ දීපු විසදුම ඇතුලේ උත්තර නෑ. ලංකාවේ මිනිස්සු කොන්ඩේ බදින චීන්නු කියලා හිතලද දන්නේ නෑ මේ වගේ තීන්දු අරගන්නේ. රටේ ප්‍රශ්න වලට ආණ්ඩුවේ තීරණය දිගින් දිගටම මෙවැනි විහිළු සහගත තත්වයක් තියේ නම් ඒ සදහා මේ ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *